සිරිපා වන්දනා සමයට මාර්ගෝපදේශ මාලාවක්.. එන්නත් කාඩ්පත අනිවාර්යයි…

0
A Series of Guides for the Siripa Pilgrimage Season - සිරිපා වන්දනා සමයට මාර්ගෝපදේශ මාලාවක්.. එන්නත් කාඩ්පත අනිවාර්යයි...

මෙවර සිරිපා වන්දනා සමය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් කොවිඩ් මර්දන එන්නත්කරණය කළ බව තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායාරූප පිටපතක් ළග තබාගත යුතු බවට වන රෙගුලාසියක් පනවා තිබෙනවා.

මෙවර සිරිපා සමයේදී බැතිමතුන් විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි මාලාවක් සඳහන් ගැසට් පත්‍රයක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් නිකුත් කර ඇති අතර එම ගැසට් පත්‍රයේයි මේ බව දැක්වෙන්නේ.

මෙවර සිරිපා වන්දනා සමය ලබන 18 වනදායින් ආරම්භ වන අතර ලබන වසරේ මැයි 16 වනදා තෙක් එම වන්දනා සමය පැවැත්වෙනවා.

ශ්‍රිපාද වන්දනාවේ පැමිණෙන්නන් තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙනයාම නොකළ යුතු බවයි දිස්ත්‍රික් ලේකම්වරිය නිකුත් කර ඇති රෙගුලාසි මාලාවේ දැක්වෙන්නේ.

ලිහිණිහෙල පලාබද්දල විහාරස්තානය, හැරමිටිපාන, ආඩියාමලතැන්න, වර්ණගල, සීතගගුල, මැදහින්න සහ ඉඳිකටුපාන යන විශ්‍රාමශාලා සහ අම්බලම් නවාතැන් ලෙස භාවිත කළ හැකියි.

බලයලත් නිළධාරියෙකුගේ අවසරයකින් තොරව වෙළඳසැල් ඉදිකිරීමද තහනම් කර තිබෙනවා.

සිරිපා මලුව ප්‍රදේශයේ හෝ අම්බලම්, විශ්‍රාමශාලා පිහිටි ප්‍රදේශවල කිසිඳු ස්ථානයක සිගමන් යැදීම හෝ සිගමන් බෙදාදීම නොකළ යුතුයි.

කොවිඩ් 19 වසංගත තත්වය තුළ ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයක්ද මෙම ගැසට් පත්‍රයේ සඳහන් කර තිබෙනවා.

මුව ආවරණ පැළඳීම සහ දුරස්ථභාවය පවත්වාගැනීම අනිවාර්යය වන අතර ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රීපාද මලුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු බවද රෙගුලාසි මාලාවේ සඳහන්.