පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැටලු සහගතයි

0
Anura Priyadarshana Yapa Statement of Parliament Prorogued - පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැටලු සහගතයි

සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම ගැටළු සහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවක සැසිවාර මෙයට පෙර අවසන් කරනු ලැබුවේ අසාමාන්‍ය තත්වයක් ඇතිවූ අවස්ථාවන්හිදී බවද හෙතෙම සඳහන් කළේය.

යාපා මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන්වීමත් සමග එහි සියලු කමිටුද අහෝසි වන හෙයින් ඒවා අලුතින් පිහිටුවීමට සිදුවන බවත් එම කමිටු හරහා කරගෙන ආ වැඩපිළිවෙළේ රිද්මයට ඒවා අලුතින් පිහිටුවීමේදී පැහැදිලිවම බාධා මතුවන බවත් මන්ත්‍රීවරයා කීවේය.

ඕනෑම රටක විධායක බලය ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව ක්‍රියාත්මක විය යුතු බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේය.

පාර්ලිමේන්තුවේ සැසිවාර අවසන් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය තිබුණද එය ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැනවින් සිතා බලමින් බව පැවසූ මන්ත්‍රීවරයා අතීතයේ ජනතාව මෙන් නොව විසි එක් වෙනි ශත වර්ෂයේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සිතන පතන ආකාරය මෙන්ම කියවීම සාපේක්ෂව වෙනස් බවද සඳහන් කළේය.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා නව වැනි පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.