සියලු ප්‍රශ්න රජය මත නොපටවා රට ගොඩනැඟීමට ජනතාවත් කැපකිරීම් කළ යුතුයි

0
Nalaka Godahewa Statement of Economy Crisis - සියලු ප්‍රශ්න රජය මත නොපටවා රට ගොඩනැඟීමට ජනතාවත් කැපකිරීම් කළ යුතුයි
සියලු ප්‍රශ්න රජය සහ දේශපාලනඥයින්ට නොපටවා රට ගොඩනැඟීම සඳහා ජනතාවත් කැපකිරීම් කළයුතු බවත් ජපානය, කොරියාව වැනි රටවල් දියුණු වුණේ ඒ ආකාරයෙන් බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

“ලෝකයේ අනෙක් රටවල අර්බුද ඇති වූ වෙලාවල ඒ රටවල් ආපහු ගොඩනැගුවේ දේශපාලනඥයෝ තනිවම නෙමෙයි. දෙවන ලෝක යුද්ධයෙන් යුරෝපය විනාශ වෙලා ගියහම ජර්මනියද, ප‍්‍රංශයද, එංගලන්තයද, හැම රටක්ම අලූ දූලි වෙලා තිබුණේ දෙවන ලෝක යුද්ධය ඉවර වෙන කොට. ඒ රටවල් සියල්ල තව අවුරුදු 20ක්, 30 ක් යනකොට ලෝකයේ බලගතුව රටවල් ලෙස සංවර්ධනය වුණේ ඒ රටවල්වල ජනතාවගේ කැපවීම නිසා. තමුන්නාන්සේලා හැමෝම දන්න උදාහරණය ජපානය, යුද්දෙන් පැරදිලා විනාශවෙලා තිබුණ ඒ රට නැවත ගොඩනැගුවේ ඒ රටේ මිනිස්සු. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ ජීවත්වෙලා හිටපු මිනිස්සු පැය විසිහතරම වැඩ කළා. වැඩ කරලා මුළු ලෝකයටම ගෙනයන්න පුළුවන් ව්‍යාපාර ගොඩනැගුවා. මුළු ලෝකයම ඇල්ලූවා. අවුරුදු 30 ක් 40 ක් යනවිට ලෝකයේ ප‍්‍රබලතම රටක් බවට පත්වුණේ ඒ රටවල ජනතාවගේ කැපවීම නිසා.

අපි ලංකාව ගැන කතා කරන කොට අපි පුංචි කාලේ, කොරියාව කියලා කියන්නේ නගරයේ තිබෙන අපිරිසිදු දුප්පත්ම ප‍්‍රදේශයට. ඒ මොකද කොරියාව කියලා කියන්නේ ඒ තරම් දුප්පත් රටක්. අද ගිහින් බැලූවොත් කොරියාව අද දියුණුතම රටක්. යුරෝපයේ ඕනෙම රටකට සංසන්දනය කරන්න පුළුවන්. ඒ රටවල් ගොඩනැගුවේ ඒ රටවල මිනිස්සු උත්සාහවන්ත නිසා. 1975 වෙනකම් යුද්ධ කර කර හිටපු වියට්නාමය, නාපාලම් බොම්බය ගහල විනාශ කරපු වියට්නාමය, තරුණ පරපුරෙන් භාගෙකට වඩා මියගිය වියට්නාමය අද ලෝකයේ ආසියාවේ තිබෙන වේගයෙන්ම සංවර්ධනය වන රටක්. මම අත්දැකීමෙන් දන්නවා මොනතරම් උත්සාහවන්තද කියලා ඒ මිනිස්සු.

ඒ නිසා 2022 වසරට එළඹෙන මේ අවස්ථාවේදී මගේ ඉල්ලීම මේ රටේ හැම කෙනෙකුටම ප‍්‍රශ්න තිබෙනවා තමයි, අපට ගැටළු තිබෙනවා තමයි, ඒ සියළු ප‍්‍රශ්න රජය මත පවරන්නේ නැතිව දේශපාලනඥයෝ මත පවරන්නේ නැතිව අපිත් මොනවාහරි කරන්න ඕනේ නේද? මොනවා හරි උත්සාහයක් ගන්න ඕනේ නේද, කැපවීමක් තියෙන්න ඕනේ නේද කියන ධනාත්මක ආකල්පය ඇති කර ගත්තොත් තමුන්ගේ ජීවිතත් ගොඩනැගේවි දන්නෙම නැතිව. උත්සාහ කරොත් කරන්න බැරි කෙනෙක් නැහැ. කරන්න බැරි කමට ආණ්ඩුවට බැනලා, සමාජයට බැනලා වැඩක් නැහැ. සමාජය උදව් කරන්නට ඕනේ. හැබැයි තමුන්ටත් උත්සාහයක් තිබෙන්නට ඕනේ. ඒ උත්සාහය තිබෙනවා නම්, මේ දෙක එකට එකතු උනොත් අපිට හුඟක් වැඩ කරන්න පුළුවන්. ලබන වසරේ අපි හුඟක් අයට උදව් කරනවා මේ සමිතිවලට සමාගම්වලට විශාල මුදලක් වැය කරනවා. අපි ඉල්ලා සිටින්නේ ඔබ හැමෝටම කියන්න මේ ප‍්‍රතිපාදනවලින් ප‍්‍රයෝජන ගන්න කියලා. එතනින් පටන් අරගෙන ලොකු ගමනක් යන්න උත්සාහ කරන්න කියලා. අපි හැමෝම ටික ටික ඒ දෙය කළොත් මේ ආර්ථික අර්බුද අපට ප‍්‍රශ්න නෙමෙයි. අපට මෙයින් ගොඩ අරගෙන රට නැවතත් සමෘද්ධිමත් රටක් කරන්න පුළුවන්”

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ පසුගියදා කටාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.