ජැෆ්නා කිංග්ස් ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

0
Jaffna Kings Lead in Sri Lanka Premier League Points Table - ජැෆ්නා කිංග්ස් ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කලම්බෝ ස්ටාර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින්ට ඊයේ හැකියාව ලැබුණා.

කලම්බෝ පිළ පරදා ජැෆ්නා ක්‍රීඩකයින් මෙම තරගය ජය ගත්තේ ලකුණු 93කින්.

ක්‍රීඩාංගනයට පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද වූ අතර, ඒ හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 18කට සීමා වුණා.

මෙම තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා ඉතා වර්ණවත් ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 23කදී ලකුණු 57ක් රැස්කරමින්.

කලම්බෝ ස්ටාර්ස් පන්දු යවන්නන්ට හිසරදයක් වූ තිසර පෙරේරාගේ ඉනිමට දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 03ක් ඇතුළත් වුණා.

තරගය අතර තුර ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් ගංගා සඳහන් කර සිටියේ “තිසර තවමත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ හැකියාව තියනවා, ඔහු ඉතා අඩු වයසකින් විශ්‍රාම ගැනීම ශ්‍රී ලංකාවට පාඩුවක්, ඕනෑම වෙලාවක තරගයක් වෙනස් කිරීමේ හැකියාව ඔහුට තියනවා” යනුවෙන්.

මේ අතර තරගාවලියේ තරග 09ක් අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වී සිටිනවා.

ඒ ඔවුන් සහභාගී වූ තරග හතරෙන් තරග 03ක් ජයගෙන ප්‍රසාද ලකුණු 06ක් ලබාගනිමින්.

ප්‍රසාද ලකුණු 05 බැගින් ලබාගෙන මෙම සටහනේ දෙවන සහ තුන්වන ස්ථානවල පිළිවෙලින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම් පසුවනවා.