එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්යය කිරීමට නව නීති

0
New Rules to Make Both Vaccinations Mandator - එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්යය කිරීමට නව නීති

කොවිඩ් -19 රෝගය වැළැක්වීම සඳහා වන එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්යය කරන නව නීති කඩිනමින් ගෙන එන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටින්නේ කොවිඩ් රෝගය හමුවේ මේ වන විට මුළු ලෝකයම වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් විධිමත් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් මත රට විවෘත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි

ඒ අනුව අපත් ඒ ක්‍රමයටම අනුගත වීම කළ යුතු බවත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය යොමු කළ යුතු බවත් සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ රජයේ සේවකයන්ට රජයෙන් යම්කිසි දීමනාවක් ලැබුණත් අනෙකුත් සාමාන්‍ය ජනතාව මේ කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඒ අය සම්බන්ධයෙන් අපි යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. කෙසේ වෙතත් මෙම රෝගය වැළැක්වීම සඳහා රජය ලබාදෙන එන්නත් දෙකම සෑම පුරවැසියෙක්ම අනිවාර්යයෙන්ම ගත යුතු බවයි.

සෞඛ්‍ය හා අදාළ සියලු අංශ එක්ව අද(9) පස්වරුවේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද ඇමතිවරයා පවසනවා.

එමෙන්ම මෙම විශේෂ සාකච්ඡාවේදී ඔමික්‍රෝන් වෛරසය සම්බන්ධයෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ .

කොවිඩ් -19 රෝගය වැළැක්වීම සඳහා වන එන්නත් දෙක ලබා ගැනීම අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් නව නීති මේ වන විට සැකසෙමින් පවතිනවා. අවශ්‍ය අයට ඒ එන්නත් දෙකම ලබාගත් බවට සහතික කළ කාඩ් පත ලබා ගන්න පුළුවන්. ඇප් එකක් ඒ සඳහා නිර්මාණය කර තිබෙනවා එමගින් එම කටයුත්ත කරගන්න පුළුවන්. ඉදිරියේදී සෑම පොදු කටයුත්තකදීම මේ කාඩ් පත අවශ්‍ය වේවි. ඉදිරි උත්සව කාලයේ දී වුවත් සීමාවන් පැනවීමට අප බලාපොරොත්තු වන්නේ නෑ. අපි හිතන්නේ දැන් සීමාවන් පැනවීමේ සීමාවක් තිබිය යුතු බවයි.

පාසල් ඇතුළු සෑම දෙයක්ම ක්‍රමක්‍රමයෙන් සාමාන්‍යකරණය කිරීම අපේ බලාපොරොත්තුවයි. මේ රටේ සියලු දෙනාටම බූස්ටර් එන්නත දීමට අපි කටයුතු කරනවා. රජය කොපමණ උත්සාහ කළත් ජනතාව ඒ සඳහා සහාය ලබා දෙන්නේ නැත්නම් මේ කිසිවක් කරන්න බැහැ. රටේ ජනතාව මේ තත්ත්වය තේරුම් අරගෙන සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව කටයුතු කළොත් අපිට සෑම දෙයක්ම ජය ගන්න හැකියාව තිබෙන බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටිනවා.