ප්‍රියන්ත කුමාර මහතාගේ වැටුප අඛණ්ඩව

0
Mr. Priyantha Kumara's Salary Continues - ප්‍රියන්ත කුමාර මහතාගේ වැටුප අඛණ්ඩව
පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර තිබේ.

ඒ අනුව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම අරමුදල සඳහා එකතු වී ඇති බවය.

මේ අතර පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ ප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහුගේ පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බවය.

එසේම ඔහු පවසා ඇත්තේ එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසිදු බුරුලක් පාකිස්තානයෙන් නොලැබෙන බවත්ය.

පාකිස්ථානයේ සියල්කෝට් හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

ඒ ගණේමුල්ල පොල්වත්ත සුසාන භූමියේදීයි.

සියල්කෝට් හිදී අන්තවාදීන් පිරිසකගේ පහරකෑමට ලක්ව ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පෙරේදා දිවයිනට රැගෙන ආ අතර ඊයේ අළුයම 3.00 ට පමණ ඔහුගේ නිවසට රැගෙන එනු ලැබීය.

සියල්කෝට් හි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් නමැති කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් ද වෙයි.

දේහය නිවසට රැගෙන ආ මොහොතේ සිට මේ දක්වාත් ආගමික නායකයින්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් ප්‍රියන්ත දියවඩන මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණෙමින් සිටියි.

මේ අතර ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙත ශෝකය පළ කිරීමේ අවස්ථාවක් පාකිස්ථාන අග්‍රාමාත්‍ය නිල නිවසේ දී ඊයේ පස්වරුවේ සංවිධානය කර තිබුණි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ මුලිකත්වයෙන් එය සංවිධානය කර තිබූ අතර ඊට එරට අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියේය.

ප්‍රියන්ත දියවඩන මහතාට පහරදීම සිදුකරන අවස්ථාවේ ඔහු ආරක්ෂා කිරීමට උත්සහ කළ එකම පුද්ගලයා වූ මලික් අද්නාන් ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනැමීමද මෙහිදී සිදුකර තිබේ.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව එරට තොරතුරු අමාත්‍ය චෞද්රි ෆවාඩ් හුසේන් පැවසීය.

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මොහාන් විජේවික්‍රම මහතා හමුවී අදාළ සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති පාකිස්ථාන තොරතුරු අමාත්‍යවරයා සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පාකිස්ථාන රජය ගෙන ඇති පියවර පිළිබඳවද පැහැදිලි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ප්‍රියන්ත දියවඩන මහතා ඝාතන සිද්ධිය සමස්ත රටම කම්පනයට පත් කළ සිදුවීමක් බව පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ ආගමික විද්වතුන් සදහන් කර තිබුණි.

පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හමුවී අදාළ සිදුවීම පිළිබඳ සිය සංවේගය පළ කර ඇති ඔවුන් පෙන්වාදී ඇත්තේ එම අමානුෂික සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නා බවය.

සිද්ධිය හෙළා දකිමින් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති පාකිස්තාන උලෙමා සංවිධානය, එම අමානුෂික ඝාතනය සම්පූර්ණයෙන්ම ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි බවත් ඝාතනයට සම්බන්ධ සියලු පුද්ගලයින්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බවත් සඳහන් කර තිබේ.

මේ අතර ආගමික නායකයින් විසින් ලබන 10 වන සිකුරාදා දිනය මෙම ම්ලේච්ඡ ඝාතනය හෙළා දැකීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර පෙරේදා දිවයිනට රැගෙන ආ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබේ.

පාකිස්තානයේ සියල්කොට්හී ඇඟලුම් කම්හලක සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ පෙරේදා පස්වරු 5ට පමණ මෙරටට රැගෙන එනු ලැබීය.

පසුව එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකෙරුණේ, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලටය.

මරණ පරීක්ෂණයෙන් පසු දේහයේ අවශේෂ ගණේමුල්ලේ නිවස වෙත ඊයේ අලුයම 1.30ට පමණ රැගෙන එනු ලැබීය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශෝක ප්‍රකාශය රැගෙන ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් එහි පැමිණ තිබුණි.

එමෙන්ම මෙරට පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ශෝකය පළකිරීම ද සිදුකෙරුණි.