ඇමැති වීරසේකරගේ ලේකම්වරයෙක් යැයි කියාගත් කෙනක් ගිරාඳුරුකෝට්ටේ නිධානයක් ගැනීමේ උත්සාහයක

0
A Person Trying to Get a Treasure in Girandurukotte - ඇමැති වීරසේකරගේ ලේකම්වරයෙක් යැයි කියාගත් කෙනක් ගිරාඳුරුකෝට්ටේ නිධානයක් ගැනීමේ උත්සාහයක

මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් යැයි කියන පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් ගිරාඳුරුකෝට්ටේ ගල්පෝරුයාය රක්ෂිතයේ නිධානයක් ගොඩගැනීමට උත්සහා දරා ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය සඳහන් කරයි.

ගිරාඳුරුකෝට්ටේ, ගල්පෝරුයාය රක්ෂිතයේ කිලෝමීටර් දෙකහමාරක් පමණ ඈතින් වන ස්ථානයක ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බැලීම සඳහා පසුගිය 27 වැනිදා යම් කණ්ඩායමක් පැමිණ ඇත.

ගම්වාසීන්ගේ තොරතුරු මත මෙම සිද්ධිය පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.ටී. චතුරංග වෙත දැනුම් දෙනු ලැබීය.

මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයාගෙන් පොලිස් විශේෂ කාර්යංශය ප්‍රශ්න කිරීමේදී තමන් මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකරගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රියසාද් සේනාරත්න යැයි පවසා ස්ථානයෙන් පලාගොස් තිබේ. මොහු රක්ෂිතයේ ඇතැයි කියන නිධානය ගැනීමට යම් පිරිසක් හා පැමිණ ඇති බවත් පිරිස් තැනින් තැන සිට ඇති බවත් පොලිස් විශේෂ කාර්යංශ නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

ගිරාඳුරුකොට්ටේ පොලිස් ස්ථානාධිපතිවරයා බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ප්‍රියසාද් සේනාරත්න නමින් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නොමැති බව එහි උසස් නිලධාරියකු පැවැසීය.