ඩෙකෑන් ග්ලැඩියේටර්ස් අබුඩාබි T10 ශූරතාව තමන් සතු කරගනී

0
Deccan Gladiators Clinch Abu Dhabi T10 Title - ඩෙකෑන් ග්ලැඩියේටර්ස් අබුඩාබි T10 ශූරතාව තමන් සතු කරගනී
මෙවර අබුඩාබි T10 තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ (04) රාත්‍රියේ සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ දිල්ලි බුල්ස් කණ්ඩායම ලකුණු 56 කින් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ දී කාසිය වාසිය දිනූ දිල්ලි බුල්ස් නායක ඩ්වේන් බ්‍රාවෝගේ තීරණය වුණේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සිය ප්‍රතිවාදීන්ට ලබා දීමටයි.

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයින් සිය පන්දුවාර 10 තුළ ලකුණු 159ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරුවන් යුගලය පමණක් ලකුණු 159ක මෙම දැවැන්ත ලකුණු පුවරුව නිර්මාණය කරන්නට දායක වීම විශේෂතත්වයක්.

මෙම තරගයේ දී ග්ලැඩියේටර්ස් පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් සිදුකරන්නට ඔවුන් කටයුතු කිරීම විශේෂත්වයක්.

ඒ අනුව ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍ර රසල් ආරම්භක පිතිකරුවෙකු ලෙස ග්ලැඩියේටර්ස් කණ්ඩායම් වෙනුවෙන් එහිදී පිටියට පිවිසියා.

එහිදී තමන්ට ලැබුණු මෙම අවස්ථාවට උපරිම සාධාරණයක් ඉටුකරමින් පන්දු 32 කදී නොදැවී ලකණු 90ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර 09ක් ඇතුලත් වූ අතර ඔහු අර්ධ ශතකය රස කළේ පන්දු 18 කින්.

එහිදී විස්තර විචාරකයින් රසල්ගේ මෙම පිතිකරණය “රසල්ගේ සංදර්ශනය” (Russell show) යනුවෙන් නම් කිරීම ද විශේෂ සිදුවීමක් වුණා.

අනෙක් අන්තයෙන් ග්ලැඩියේටර්ස් ඉනිම ගොඩනැගූ ටොම් කෝලර්-කැඩ්මෝර් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 59ක්.

ඒ අනුව තරඟය ජයග්‍රහණය වෙනුවෙන් දිල්ලි බුල්ස් පිළට හිමි වූ ලකුණු සංඛ්‍යාව ලකුණු 160ක ඉලක්කයක් හිමි වූණා.

එම ඉලක්කය හඹා ගිය දිල්ලි ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 10 තුළ දී කඩුලු 07ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.

එහිදී ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සිය පන්දුවාර 02ක තුළ ලකුණු 20ක් ලබා දෙමින් කඩුලු 02ක් බිඳ දැමූවේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව තමන්ගේ නම ඉදිරියේ ලියා ගනිමින්.

ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ටයිමල් මිල්ස් සහ ඕඩින් ස්මිත් අතරේ කඩුලු 02 බැගින් දවාගත්තා.

ඒ අනුව දිල්ලි බුල්ස් පිළ ලකුණු 56 කින් පරාජය කළ ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙවර අබුඩාබි T10 තරගාවලියේ ශූරයින් බවට පත් වුණා.

අවසන් මහා තරගයේ වීරයා ලෙස ඇන්ඩ්‍ර රසල් සම්මාන දිනා ගත අතර තරගාවලියේ ක්‍රීඩකයා බවට පත් වුණේ සමස්ත තරගාවලියේ තරග 12කට ක්‍රීඩා කරමින් කඩුලු 21 බඳ දැමූ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගයි.