ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට අන් මඟක් නැහැ

0
Sajith Premadasa Press Release about Government - ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට අන් මඟක් නැහැ

ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට අන් මඟක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මොහොතින් මොහොත රට අඳුරු අගාධයකට තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ හැකියාවක් හෝ උවමනාවක් නොමැති බවයි.

එහි දැක්වෙන්නේ වර්තමාන ආණ්ඩුව ඉතිරිකර ඇත්තේ අසීමිත ලෙස උද්ධමනය ඉහළ ගිය දරාගත නොහැකි ජීවන වියදමෙන් පීඩා විඳින තුන්වේල වෙනුවට එක්වේලක් හෝ කන්නට බැරි තරමට දුක් විඳින රටක් බවයි.

අධ්‍යාපනය කඩා වැටුණු, විරැකියාව පීඩනය සහ අසහනය රජයන සමාජයක් වර්තමාන ආණ්ඩුව විසින් ඉතිරි කොට ඇති බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳව පුරසාරම් දොඩමින් බලය ලබාගත් ආණ්ඩුව,සෞඛ්‍යාරක්ෂිතව ගෑස් සිලින්ඩරයක් වත් ජනතාවට ලබාදීමට නොහැකි තැනට රට පත් කර ඇතැයි එම නිවේදනයේ සඳහන් ය.

රට පුරා පෝලිම් යුගයක් නිර්මාණය වී ඇති අතර කොරෝනා මරණ දාහතරදහස ද ඉක්මවා යන තැනකට රට පත් කර ඇතැයි, විපක්ෂ නායකවරයා පවසයි.

නිවේදනයේ දැක්වෙන්නේ සිය බල ව්‍යාපෘතිය උදෙසා උත්තරීතර පාර්ලිමේන්තුව පවා ප්‍රචණ්ඩත්වයේ තෝතැන්නක් බවට පත්කරගනිමින් ආණ්ඩුව විසින් පෙන්නුම් කරන ෆැසිස්ට්වාදී පැවැත්ම පිළිකුල් සහගත බවයි.

තවදුරටත් වර්තමාන ආණ්ඩුව කෙරෙහි අංශු මාත්‍රයක විශ්වාසයක් තබන්නට රටේ ජනතාව සූදානම් නැති බව විපක්ෂා නායකවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුව නොවලහා කළ යුත්තේ මේ අර්බුදකාරී සමයේ මේ රට ගොඩනැගීමේ කිසිදු හැකියාවක් හෝ සමත්කමක් නැති බව අවංකව පිළිගෙන, රට ගොඩනැගීමට හැකි කණ්ඩායමකට ආණ්ඩුව භාරදී ඉවත්ව යාම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.