පකිස්තානයේදී ලාංකිකයෙකු ඝාතනය කිරීමට මුල් වූ හේතුව

0
Sri Lankan Person Murder Incident in Pakistan - පකිස්තානයේදී ලාංකිකයෙකු ඝාතනය කිරීමට මුල් වූ හේතුව

පකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි අප්‍රසාදය පළ කරන බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කලේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පකිස්තානය රටක් ලෙස ලැජ්ජාවට පත්වන බවයි.

මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කෙරෙහි තමන් දැඩි අවධානයෙන් බලා සිටින බවද ඔහු සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නීතියෙන් දඩුවම් ලැබෙනු ඇති බවත් අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.

පකිස්ථාන වාර්තා සඳහන් කලේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පකිස්ථානයේ, සියල්කොට් හි පිහිටි කර්මාන්ත ශාලාවක කළමණාකාරවරයෙකු ලෙස සේවය කල ලාංකිකයෙකු එම කර්මාන්ත ශාලාවේම සේවකයින් පිරිසක් විසින් පහරදී ඝාතනය කර තිබුණේ ඊයේ දහවල් කාලයේදීයි.

ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ සිද්ධියක් ඊට මුල්වී තිබුණා.

පසුව එම සේවකයින් විසින් අදාළ ලාංකිකයාගේ සිරුරට ගිණි තබා ඇති බවයි පකිස්ථාන මාධ්‍ය වාර්තා කලේ.

මේ අතර ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට හිරිහැර කර ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර පුළුස්සා ඇති බවට තමන්ට වාර්තා වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය පැවසුවේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එම සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාබලමින් සිටින බවයි.

එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉෂ්ඨ කිරීම පකිස්තාන බලධාරීන් විසින් සිදුකරනු ඇතැයි තම අපේක්ෂාව බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කලා.