මිකී ආතර් ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙයි

0
Mickey Arthur to Resign as Sri Lanka Coach - මිකී ආතර් ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ගේ අවසන් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ජයග්‍රහණයකින් නිමාකළා.

සිය ගමන්මග ගැන මාධ්‍ය හමුවේ සඳහන් කළ මීකී ආතර් සඳහන් කළේ,

ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටි වසර 2 අතිශයින් ස්මරණීය යි.මෙහි ගෙවුණු සෑම තත්පරයකටම මම ආදරෙයි.

ඇත්ත වශයෙන්ම මෙම වසර දෙක ඉතාම තීරණාත්මක වසර දෙකක් වුණා.එහි ඇතැම් අවස්ථා මට මහත් සංවේගයක් ගෙන දෙනවා.හැබැයි මම සන්තෝස වෙනවා, මම කණ්ඩායම අත්හැර යනකොට කණ්ඩායම තියෙන ස්ථානය ගැන, මට එය තිබූ තැනින් ඉහළට ඔසවන්නට හැකියාව ලැබුණා.මම මේ රටට හරිම ආදරෙයි,

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ශක්තිය ගැන කතා කරනවා නම්, ඔවුන්ට තිබෙන්නේ ඇදහිය නොහැකි දක්ෂතාවන්.මේ තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය වර්ණවත් කරාවි.ඒ වගේම තමයි දිමුත් වගේ ජේෂ්ඨ ක්‍රීඩකයින් ඔහු මා මේ තනතුර භාර ගත් දා පටන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම දස්කම් දක්වමින් සිටියා.

තරුණ ක්‍රීඩකයින් තෝරාගෙන ඔවුන්ට නිදහසේ ඔවුන්ගේ දක්ෂතා ප්‍රකට කරන්නට ලබා දුන් අවස්ථාවේ ප්‍රතිලාභ දැන් අපි විඳිනවා.පුහුණුකරු හැටියට මට මීටත් වඩා සතුටු වෙන්න දෙයක් නෑ, මම ඔවුන්ට විශ්වාසය ලබා දුන්නා, ඒ වගේම අඛණ්ඩව අවස්ථාව ලබා දුන්නා.ඒ දුන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔවුන් දස්කම් දක්වනවා.

මා පුහුණුකරු ලෙස සිටි වසර දෙක ගැන නැවත හැරී බලනවා නම් මේ අතරවාරයේ කිසිම දවසක මට ඔස්ට්‍රේලියාවට යන්න හැකියාවක් ලැබුනෙ නෑ.මම 2019 නොවැම්බර් මාසේන් පස්සේ මගේ දියණිය දැකලා නෑ. ඒ වගේම තමයි ජෛව බුබුලකින් තවත් ජෛව බුබුළකට මාරුවෙන එක ක්‍රීඩකයින්ට වගේම අපිටත් අතිශය පීඩාකාරී දෙයක් වුණා.

මෙහිදී තරග තහනමට ලක්ව සිටින ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මිකී ආතර් කියා සිටියේ, වත්මන් ක්‍රීඩා පිටිය තුළ සමාජ මාධ්‍ය ක්‍රීඩකයින්ගේ පැවැත්මට සහ බිද වැටීමට විශාල කාර්ය භාරයක් ඉටු කරන බවයි.ඒ තත්ත්වය තේරුම් ගෙන ඒ තත්ත්වයන්ට අනුකූලව තමන්ගේ ක්‍රීඩාව සහ එදිනෙදා පැවැත්ම සකසා ගැනීම අද ක්‍රීඩකයින් ඉදිරියේ ඇති විශාල අභියෝගයක් බවත් ඔහු කියා සිටියා.