සමස්ථ ගෑස් පිපිරීම් ගණන 46ක් දක්වා ඉහළට

0
Total Gas Accidents so Far - සමස්ථ ගෑස් පිපිරීම් ගණන 46ක් දක්වා ඉහළට

දිවයින පුරා ගෑස් කාන්දුවීම් ආශ්‍රිතව වූ පිපිරීම් හයක් ඊයේ (01) අනාවරණය විය. නානුඔය, තලවාකැලේ, අකුරණ, අනුරාධපුර යන ප්‍රදේශවලින් මෙම පිපිරීම් වාර්තා වී ඇත.

තලවාකැලේ වෝකර්ස් පෙදෙසේ ඉහළ කොත්මලා නව නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක ගෑස් ළිපක් පුපුරා ගොස් තිබුණේ ඊයේ උදෑසන 10 ට පමණය. ජලය උණු කරගැනීමෙන් පසු ගෑස් ළිප නිවා දමා විනාඩි 10 කින් මෙම පිපිරුම සිදුව තිබිණි. එමෙන්ම නානුඔය නගරයේ පිහිටි මත්පැන් අලෙවි සැලක මුළුතැන්ගෙයි තිබූ ගෑස් ළිපක්ද පුපුරා ගොස් තිබිණි. පිපිරීමත් සමග ගෑස් සිලින්ඩරය වීසිවී ගොස් ගෑස් සියල්ල විනාඩි 15 ක් තුළ ඉවත් වී ගිය බවද එහි සේවකයෝ පවසති. එමෙන්ම අනුරාධපුර කවරක්කුලම කුඩා නෙළුම්කුලම ප්‍රදේශයේ නිවසකද ඊයේ ගෑස් ළිපක් පුපුරා ගොස් තිබිණි.

මහනුවර, අකුරණ, මැංගුස්වත්ත ප්‍රදේශයේ නිවසකද ඊයේ ගෑස් ළිපක් පුපුරා ගොස් ඇත. පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවරයකුගේ නිවසක මෙම පිපිරුම සිදුව තිබේ. එමෙන්ම තලවකැලේ දුම්රිය පොළ මාර්ගයේ පිහිටි නිවසකද ඊයේ ගෑස් ළිපක් පුපුරා ගොස් තිබිණි. ඇහැලියගොඩ මාරඹේ ප්‍රදේශයේ නිවසකද මේ ආකාරයේ පිපිරීමක් සිදුව ඇත.

ගෑස් පිපිරීම් ආශ්‍රිතව සිදුවූ අනතුරුවලින් කාන්තාවක හා පිරිමි පුද්ගලයකු රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

සමස්ථ ගෑස් පිපිරීම්

ගෑස් ආශ්‍රිිත පිපිරීම් 30 ක් වාර්තා වූ බවට ආරක්ෂක අමාත්‍යංශය පසුගිය 29 වැනිදා නිවේදනයක් නිකුත් කළ අතර පෙරේදා (30 වැනිදා) වාර්තා වූ පිපිරීම් 10 සහ ඊයේ වාර්තා වූ පිපිරීම් 6 සමගින් මුළු පිපිරීම් ගණන 46 ක් දක්වා ඉහළ ගොස් ඇත.