කොදෙව්වන්ගේ වීඩියෝ බලා සැලසුම වෙනස් කළ හැටි රමේෂ් කියයි

0
Ramesh Mendis Statement of Balling - කොදෙව්වන්ගේ වීඩියෝ බලා සැලසුම වෙනස් කළ හැටි රමේෂ් කියයි

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ දිනයේ විශිෂ්ට පන්දුයැවීමක නිරත වු රමේෂ් මෙන්ඩිස් ලකුණු 70කට කඩුලු 6ක් දවා ගත්තේය.

මෙම ටෙස්ට් තරගය 1952 වසරින් පසුව ටෙස්ට් තරගයක පළමු ඉනිම දෙකේදී වේගපන්දු යවන්නන් කඩුලු ලබානොගත් පළමු ටෙස්ට් තරගය ලෙස ද ඉතිහාසයට එක්වෙයි.

තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වූ රමේෂ් මෙන්ඩිස් සඳහන් කළේ,

“අද දවස සැලසුම් කරපු විදිහට විකට් එක ගොඩාක් දඟකැවුනේ නෑ. ඒ නිසා අපි සැලසුම් කළේ කොදෙව්වන්ට පෙෂර් එකක් දෙන්න. එක පැත්තක පන්දුයවලා ලකුණු අඩුවෙන් දෙන්න. දඟපන්දු යවන්නන් 3දෙනාම පන්දු යැව්වේ ඒ අරමුණ ඇතිව. ඒ අතර තුර ඔවුන් මොකක් හරි වැරැද්දක් කරනකම් හිටියා.”

“අපි කොදෙව් පිතිකරුවන් සියලු දෙනාගේම වීඩියෝස් බැලුවා. ඒ අනුව තමයි සැලසුම් හැදුවේ. මම කිසිම පීඩනයකින් තොරව තමයි පන්දු යැව්වේ. හැට්‍රික් එකක් ගන්න තමයි බෝල් කලේ. අවාසනාවකට ඒක මිස්වුණා මැච් දෙකේම.”

“විකට් එක හොඳ නිසා පිතිකරුවන් දවාගන්න තිබුණු අවස්ථාවන් අඩුයි. ඒ නිසා තමයි විවිධ උත්සහයන් අරගෙන බැලුවේ. නායකයා සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.”

“මේ මගේ 4වන ටෙස්ට් තරගය. පිතිකරණය පැත්තෙන් ඒ තරගවල මට ලොකු දෙයක් කරන්න ලැබුණේ නෑ. ඉදිරි තරගවලදී බලාපොරොත්තු වෙනවා පිතිකරණය පැත්තෙනුත් මගේ දක්ෂතා පෙන්වන්න.”

“මම මගේ පරණ වීඩියෝත් බැලුවා. පිතිකරණය පැත්තෙන් මගේ කිසිම වෙනස්කමක් වෙලා නෑ. අවාසනාවන්ත ලෙස සමහර වෙලාවට දැවී යනවා. මම ඒ ගැන අවධානය යොමු කරමින් ඉන්නේ.”

“ඇන්ජලෝ අයියා ආබාධයකට ලක්වීම අපිට පිතිකරුවන්ගේ පැත්තෙන් තමයි ගොඩක්ම බලපාන්නේ.”

ඊයේ දිනය නිමා වනවිට තරගයේ වැඩි වාසිය තමන් සතු කරගැනීමට කොදෙව්වන් සමත්වී ඇත.

දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 46කි.

ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් රැස් කර ගෙන සිටි කොදෙව් පිල තේ පානයෙන් පසු ලකුණු 253 කට සියලුදෙනා දැවී ගියේය.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේ ලකුණු 49ක් ඉදිරියෙන් සිටින්නට සමත්වුණි.