ලබන වසරේ මාර්තු මාසයේදී ආහාර සහ බලශක්ති හිඟයක්

0
Ranil Wickramasinghe Statement of Fuel and Food - ලබන වසරේ මාර්තු මාසයේදී ආහාර සහ බලශක්ති හිඟයක්

ඉන්ධන හිඟයක් නිසා විදුලි බල කැපීමක් සිදු නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම අවස්ථාවේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ලබන වසරේ මාර්තු වනවිට ආහාර හිඟයක් සමඟ බලශක්ති හිඟයකට මුහුණදීමට සිදුවන බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ

“කතා කරන අපිට එක තොරතුරක් ලබා ගන්න ඕනේ මේ විවාදයට ඉස්සෙල්ලා. සිකුරාදා හැන්දෑව වෙනකොට මේ රටේ තියන විදේශ විනිමය තත්ත්වය. මුදල් ටිකත් ඩොලර්වලින් ඒ වගේම රත්‍රන් ටිකත් ඩොලර් වලින් අපිට දෙනවා නම්, මොකද ඕක කොහොමටත් දැන් එවලා තියෙනවා වොෂින්ටන් වලට IMF එකට යවන්න තියෙනවා. මොකද අපිට තියෙන විදේශ විනිමය තත්ත්වය උඩ තමයි අපට තියෙන බලශක්තිය ගැන තීරණය කරන්න තියෙන්නේ. විදේශ විනිමය අඩු වුණොත් විදුලි කප්පාදු සිදුවේවි. කමන් නෑ අපිට එකට මූණ දෙන්න වෙනවා. දැනට විදේශ විනිමය සංචිතය තියෙන්නේ බිලියන එකහමාරයි. ඒ බිලියන එකහාමාරෙන් 300ක් රත්‍රන් වලින්. එහෙනං අපේ අතට තියෙන්නේ බිලියන 1.2යි. මහ බැංකුව කියනවා නම් ඒක නෑ කියලා ඒක බොරුවක් ”

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

“සාමාන්‍ය තත්ත්වයක් යටතේ එහෙම වෙන්න ඉඩ තිබුණා. නමුත් අපි ගිය 15වනදා සපුගස්කන්ද පිරිපහදුව වහන විටත් දැවි තෙල් මෙට්‍රික් ටොන් 79,000ක් අපේ තෙල් ටැංකිවල තිබුණා. ඒ කියන්නේ වැස්ස නතර වුණාට පස්සෙත් තව දින 40කට පමණ ආසන්න කාලයක් විදුලිය ජනනයට භාවිත කිරීම සඳහා ප්‍රමාණවත් දැවි තෙල් මේ මොහොතේ අප සතුව තිබෙනවා. ඒ නිසා ඉන්ධන හිඟයක් නිසා විදුලි බල කැපීමක් සිදු වෙන්න කිසිසේත්ම හේතුවක් නෑ.”

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ

” හරි ජලාශ පිරිලා, ඒ ජලාශවලින් කොටසක් වෙන්කරන්න තියෙනවා යල කන්නයට වතුර දෙන්න. ඒ ටික ඉවත් කරායින් පස්සේ ඉතුරු ජලයයි ඔබතුමා එක්ක තියෙන තෙල් තොගයයි බැලුවොත් මාර්තු වෙනකොට විශාල ප්‍රශ්නයක් අපිට එනවා. රටේ ආහාර හිඟය එක්කම බලශක්ති හිඟයක් එනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

“අපේ මාසිකව මේ දිනවල අපනයන ආදායම ඩොලර් මිලියන 1,000ක් වෙනවා. ආනයන වියදම ඩොලර් මිලියන 1,300ක් විතර. අපිට සිද්ධ වෙලා තියෙනවා අපනයන ආදායමට සරිලන ආකාරයට ආනයන වියදම කළමනාකරණය කරද්දි ප්‍රමුඛතාවය දෙන්න. අපේ ප්‍රමුඛතා අංක එකේ තියෙන්නේ බෙහෙත් සහ සෞඛ්‍ය උපකරණ. දෙවැනියට තියෙන්නේ ඉන්ධන. මේ දක්වා ඩොලර් හිඟයක් තියෙනවා කියලා ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් තියෙන කිසිම ණයවර ලිපියක් විවෘත්ත නොකර ඉදලා නෑ.”