පණ ඇති බිළිඳිය වළ දැමූ සිදුවීමට අදාළව පොලිස් අත්අඩංගුවට පත් පෙම්වතා

0
Jaffna Madduvil Baby Incident - පණ ඇති බිළිඳිය වළ දැමූ සිදුවීමට අදාළව පොලිස් අත්අඩංගුවට පත් පෙම්වතා
යාපනය, මඩ්ඩුවිල් ප්‍රදේශයේ තරුණියක විසින් බිහිකළ අවස්ථාවේදීම බිළිඳියක වළ දැමීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අතරතුර එම තරුණියගේ පෙම්වතා බවට සැකකෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

ඔහු යාපනය අච්චුවේලි දකුණ ප්‍රදේශයේ පදිංචි අයෙකුයි.

18 හැවිරිදි තරුණිය ඇයගේ පෙම් සබඳතාවක් හේතුවෙන් දරුවකු ප්‍රසූත කිරීමට ආසන්නව සිට ඇති අතර පසුගිය 23 වැනිදා අලුයම 04.00ට පමණ බිළිඳිය බිහිකොට පණපිටින්ම පොහොර උරයක දමා ගෙවත්තේ පිහිටි වළකට දමා වසා තිබුණා.

පසුව ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිනියක් විසින් ඒ බව දැනගත් විගසම පොලිසියට දැනුම් දී බිළිඳිය චාවකච්චේරි රෝහලට ඇතුළත් කළා.

බිළිඳියව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර තරුණිය කොවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.