ඔමික්‍රෝන් භයානකයි.. ප‍්‍රවේශම් වන්න.. යළි රට වහන්න බැහැ…

0
Dr. Hemantha Herath Statement of Omicron - ඔමික්‍රෝන් භයානකයි.. ප‍්‍රවේශම් වන්න.. යළි රට වහන්න බැහැ...

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් පවා ඕනෑම වෛරස ප‍්‍රභේදයකින් මිය යා හැකි බැවින් කළ යුතුව ඇත්තේ ශීඝ‍්‍රයෙන් පැතිරයන ඔමික්‍රෝන් නමැති නව ප‍්‍රභේදය රට තුළට ඒම වළක්වාලීම හා එය එකිනෙකා අතර පැතිර යෑම නතර කිරීම පමණකැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

එන්නත්කරණයෙන් සිදුකර ඇත්තේ වෛරසය පැතිර යෑම පාලනය කිරීම නොව එයින් මරණයට පත්විය හැකි අවදානම පාලනය කිරීම යැයිද ඒ මහතා කීය.

යළිත් වතාවක් රට වසා දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවත් මේ ආකාරයට රට වසා දැමීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය කඩාවැටී විශාල අර්බුදයකට රට පත්ව යෑම පමණක් බවත් හේමන්ත හේරත් මහතා කීය.

දකුණු අපි‍්‍රකාවෙන් හඳුනාගෙන තිබෙන ඔමික්‍රෝන් නව වෛරස ප‍්‍රභේදය වෙනුවෙන් අලූත් සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයිද කළ යුතුව ඇත්තේ මෙවැනි නව වෛරස ප‍්‍රභේද මෙරටට ඇතුළු වීමට තිබෙන ඉඩකඩ අසුරාලමින් රට තුළ මෙය පැතිර යෑමට නොදී කටයුතු කිරීම යැයිද ඒ මහතා කීය.

දැනට හඳුනාගෙන තිබෙන මෙකී වෛරස ප‍්‍රභේදය මීටරයකට එහා සිටින අයට වැළඳෙන බවට හෝ මාස්ක් පැළඳ සිටියදී වැළඳෙන බවට හඳුනාගෙන නැතැයිද නිතරම දෑත පිරිසිදු කරමින් ලබාදී තිබෙන සෞඛ්‍ය උපදේශන පිළිපදින කිසිවකු අතර මෙම වෛරසය පැතිර නොයන බවද ඒ මහතා කීය.

එනිසා රට වසා නොදමා එදිනෙදා කටයුතු කරගෙන යෑමට නම් නිතරම කියන්නා සේ සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා තවදුරටත් කියා සිටියේය.