අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 10කින් ඉහළට

0
Bread Price Hike from Today Midnight - අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 10කින් ඉහළට
අද (28) මධ්‍යම රාත්‍රී 12 සිට පාන් මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි නිෂ්පාදක හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

මේ අතර, තිරිඟු පිටි මිල ඉහල යාම හමුවේ බේකරි කර්මාන්තය සහ ආපන ශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව බේකරි හිමියන් පවසනවා.

තිරිඟු පිටි මිල ඉහල යාම හමුවේ බේකරි කර්මාන්තය සහ ආපන ශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි හැටන් ප්‍රදේශයේ බේකරි සහ ආපන ශාලා හිමියන් සඳහන් කරන්නේ.

දිවයිනේ ප්‍රධාන තිරිඟු පිටි සමාගම් දෙකක් තිරිඟු පිටි මිල වැඩි කර ඇති බවත්, ඉන් එක් සමාගමක් බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබන තිරිඟු පිටි කිලෝග්‍රෑම් රු 10කින් සහ අනෙක් සමාගම තිරිඟු පිටි කිලෝග්‍රෑම් රු 17.50කින් වැඩි කර ඇති බව ද එම වෙළෙඳුන් කියා සිටිනවා.

තිරිඟු පිටි මිලට සමගාමීව බේකරි කර්මාන්තයට භාවිතා කරනු ලබන මාගරින් වර්ග ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍යවල ද මිල ඉතා අධික ලෙස වැඩි වී ඇති අවස්ථාවක ග්‍රැම් 400ක පාන් ගෙඩියක් රු 10-12කින්, අනෙකුත් කෑම වර්ගවල මිල ඉහළ දැමීමට සිදු වී ඇති බවයි හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් කියා සිටින්නේ.

පාන් සහ තිරිඟු පිටි ආශ්‍රිත අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හමුවේ පාරිභෝගිකයන් බේකරි නිෂ්පාදන මිල දී ගැනීමෙන් වැළකී සිටීමේ තත්ත්වයක් උදා වී තිබෙනවා.

මේ හේතුවෙන් බේකරි කර්මාන්තයේ නියැලී සිටින වැඩි පිරිසකගේ රැකියාවල අවිනිශ්චිතභාවයක් හටගෙන ඇති අතර, බේකරි කර්මාන්තය මහ පරිමාණයෙන් සිදු කරන දිවයිනේ සිටින ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු පමණක් ඉතිරි වී සුළු පරිමාණයෙන් එම කර්මාන්තය සිදු කරගෙන යන ව්‍යාපාරිකයන් එම කර්මාන්තයෙන් ඉවත් වීමට ද ඔවුන්ට මේ වන විට සිදු වී ඇති බවත්, හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.