උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙනවා

0
Rathana Thero Statement of Organic in Parliament - උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙනවා

කාබනික වැඩපිළිවෙළ පිළිබඳ උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙන බව අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (26) පැවසූහ.

අරමුණ උදාර වුණත් වැරදි තීරණ ගතහොත් එම අරමුණ ඛේදවාචකයකින් අවසන් විය හැකි බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

රතන හිමියන් මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

හැත්තෑ එකේ කැරැල්ලේ තරුණයන්ට උදාර අරමුණක් තිබුණද කාලය,වෙලාව, කරපු ආකාරය නිසා රටේ වටිනා ජීවිත නැතිවූ බවද උන්වහන්සේ පැවැසූහ.

මෙම කාබනික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් හතළිස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවත් එම කමිටුව එක දවසක් හෝ රැස්වූවාදැයි තමා කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් විමසන බවත් රතන හිමියෝ ප්‍රකාශ කළහ.

ඊට පසුව විසි දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළ බව පැවසූ උන්වහන්සේ කොටසක් හලලා පත්කළ ඒ කමිටුවද එක දිනක් හෝ රැස් නොවූ බව සඳහන් කළහ.

ඒ එක කමිටුවකටවත් තමාගේ නම යෝජනා නොකළ බවද මෙවැනි බරපතළ තීන්දු ගැනීමේදී අඩු තරමින් විශේෂඥ කමිටුවක් පත් කළ යුතුව තිබූ බවද රතන හිමියෝ පැවැසූහ.

ජනාධිපතිවරයාගේ දැඩි ප්‍රකාශ සහ ස්ථාවරය අගය කරන නමුත් උදාර අරමුණක් දියවී යාම ගැන කනගාටු වන බව පැවසූ උන්වහන්සේ මේවා කවුද කරන්නේ කොහොමද කරන්නේ කියන කාරණා දෙස බැලීමේදී ලොකු ගැටලූවක් පෙනෙන බවද ප්‍රකාශ කළහ.

ග්ලිෆොසේට් තහනම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළේ 2013 වර්ෂයේ දී බවත් පළිබෝධනාශක තහනම ඉවත්කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයාට විරුද්ධව නීතිපති දෙපාර්ථමේන්තුව නඩු දැමිය යුතු වුවත් ආණ්ඩුව එසේ කටයුතු නොකරන්නේ නම් දැවැන්ත අරගලයක් කරන බවත් අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

පොහොර ප්‍රශ්නය විසඳීමට තිබුණේ වී ගොවිතැන තාක්ෂණිකරණය කිරීමෙන් බව පැවසූ උන්වහන්සේ වල් මර්දන ප්‍රශ්නය විසඳන විට උග්‍ර විස කාරක රටට ගලා නොඑන බවද ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගොස් මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයාට බැනුම් ඇසීමට සිදුවී ඇති බවත් ජනාධිපතිවරයාගෙ සංකල්පය ක්‍රියාත්මක කිරීමට මහන්සි ගැනීම පිළිබඳව ඔහුට අනේක වාරයක් ස්තුතිවන්ත වන බවද සඳහන් කළහ.

” උදාර අරමුණක් වෙනුවෙන් බැනුම් ඇහුවට කමක් නැහැ. ඒ අරමුණ ජයග්‍රහණය කිරීමයි වැදගත්” රතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.