කවුරුත් කී පළියට ආණ්ඩුවෙන් ඉවත් වෙන්නෙ නැහැ

0
Mahinda Amaraweera Statement of SLFP Resignation from Government - කවුරුත් කී පළියට ආණ්ඩුවෙන් ඉවත් වෙන්නෙ නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි කියන්නේ කට කැඩුණු කතා කියමින් පාර්ලිමේන්තුවම අපකීර්තියට පත්කරන කිහිප දෙනකු බවත්, ඔවුන් කී පලියට ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

තම කණ්ඩායම ආණ්ඩුවට පැමිණියේත් ඔවුන් කී නිසා නොවන බව කී ඇමතිවරයා ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා නිසා බව අමතක නොකළ යුතු බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සිටින කිහිප දෙනෙකුගේ අශෝබන හැසිරීම නිසා එහි සිටින 225 දෙනාම අපකීර්තියට පත්ව තිබෙන බව කී ඇමතිවරයා මෙවැනි පාර්ලිමේන්තුවක් තමන් මීට පෙර දැක නැති බව ද කීවේය.

එවැනි අයෙක් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන්ට අපහාස කළ ආකාරය රටේ සමස්ත කාන්තා සංහතියටම කළ අපහාසයක් ලෙස තමන් දකින බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

කිහිප දෙකනුගේ හැසිරීම නිසා මහජනතාවට පාර්ලිමේන්තුව එපා වී ඇතැයි කී අමරවීර මහතා, මෙවැනි දේවලින් සිදුවන්නේ රට මෙන්ම පාර්ලිමේන්තුවත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වීම බව ද කීවේය.
තමන් 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන නමුත් මීට පෙර එහි මෙවන් තත්වයක් තිබී නැතැයි ද මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

තමන් පාර්ලිමේන්තුවට ආ සමයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ඉතා ගරු කළ බවත්, වචනයකින් හෝ එතුමාට අපහසුවක් වෙයි කියා වචන පාවිච්චි කිරීමේ දී පවා ප්‍රවේසම් වූ බවත් කී ඇමතිවරයා වර්තමානයේ කටකැඩිච්චි කතා කියන අය කතානායකවරයාගේ නියෝගයක්වත් ගණන් ගන්නේ නැතිවීම ඉතා කණගාටුදායක තත්වයක් බව ද කීවේය.

ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවට පැමිණියේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ආරාධනය අනුව බවත්, පසුගිය ජනාධිපතිවරණය මෙන්ම මහමැතිවරණය ජයග්‍රහණය කරවීමට තම පක්‍ෂය සුවිශේෂි වැඩ කොටසක් කළ බව ඔවුන් දන්නා බවත් කී අමරවීර මහතා ප්‍රකාශ කළේය.

‘මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් ගෙදර යැවීමට කටයුතු කළෙත් ඔය කෑගහන අයම තමයි. දැනුත් කරන්න හදන්නේ එවැනි දෙයක්. ඒ අය ජනාධිපතිතුමාත්, රජයත් අපහසුතාවයට පත් කරන්න කටයුතු කරන බව අපිට පෙනෙනවා.’ යැයි ද ඇමතිවරයා පැවසීය.