පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බව ජනපති කියයි

0
President Gotabaya Rajapaksa Statement of Easter Attack - පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බව ජනපති කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ වගකිව යුත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යනම් එය පාර්ලිමේන්තුව හරහා සිදුකළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරට ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැළණි පාලම ”කල්‍යාණි රන් පිවිසුම” නමින් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (24) පස්වරුවේ එක්වෙමිනි.

එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

ඉන් අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ,

“වස විසෙන් තොර ආහාර වේලක් මේ රටේ ජනතාවට ලබාදෙන අභියෝගය අපි භාර ගත්තා. නමුත් කොවිඩ්, වර්ෂාව, ඇතැම් නිලධාරීන්ගේ කැපවීමක් නොතිබූ නිසා අපිට ඒක කල්දාන්න සිදුවුණා. නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් අපි එය ඉදිරියට ගෙන යනවා.”

විරුද්ධ පක්ෂයෙන් පාලනයෙන් ගිහින් තාම අවුරුදු දෙකයි. හැබැයි ඒ අය කතා කරන්නේ ජීවිතේට රට පාලනය කරපු කට්ටියන් නෙවෙයි වගේ.

“පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රටේ පාලනය කළේ. ඒ අය බලයට ඇවිත් බුද්ධි සේවාව නැති කරලා, රණවිරුවන්ව නැති කරලා, ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්න ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිදුවුණා. ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ කියලා තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. එවකට හිටිය ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඒකට වගකියන්න ඕනේ කියලා කියලා තියෙනවා. හැබැයි ගිය ආණ්ඩුව වගේ දේශපාලන පළිගැනීම් ගන්න අපි ඇඟිලි ගහන්නෑ. ඒක අධිකරණය කරයි. හැබැයි කඩිනමින් කරන්න ඕනේ නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා ඒකට වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. තවත් ඒක නම් ඉල්ලන්නේ අපි ලෑස්තියි ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒක නිසා එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේසමෙන් ඉල්ලන්න වෙයි.”

“ජනතාව රැවටෙන්න එපා. මම හොඳ නැත්තම්. ආණ්ඩුව හොඳ නැත්තම් විකල්පය විපක්ෂය ද? ඒ අයට නැවත බලයට ගෙන එන්න මේ ජනතාව සූදානම් නෑ කියලා මම හොඳින් දන්නවා.”

“කොවිඩ් වසංගතය අස්සේ ජනතාව කොළඹට ගෙනආවා.. බයිලා කිය කියා. මේකද ජනතාව බලාපොරොත්තුවෙන විපක්ෂය.”

මේ අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“අපි 71%ම ඉන්ධන ගෙන එන්නේ වාහනවලට නම් ඇයි අපිට බැරි විදුලියෙන් ක්‍රියාකරන වාහන මේ රටට ගෙන එන්න.”

කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි.

පැකේජ දෙකක් යටතේ පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සඳහා රුපියල් මිලියන 9,896ක් වැය කර තිබේ.

පාලම ඉදිකර ඇත්තේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ( JICA ) මූල්‍ය දායකත්වය මතය.