හිමි ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අටක් අත්අඩංගුවට

0
හිමි ඝාතනය

වැලිගම ගොවියාපාන කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී තිත්තගල්ලේ දේවානන්ද නාහිමිපාණන්ට පහර දී ඝාතනය කළ සැකකරුවන් පස්දෙනකු ඇතුළු අටදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසනවා.

ඉන් තිදෙනෙක් මෙම ඝාතනයට අනුබල දුන් අය බවද පොලිසිය සඳහන් කළා.

මසුන් මැරීමෙන් අකුසල් සිදුවන බවට තරුණයෙකුට අනුශාසන කිරීම නිසා උරණ වූ තරුණයා ඇතුළු පස් දෙනෙක් උන්වහන්සේට පහරදී තිබූ අතර මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වුණා.

වැලිගම ගුරුබැබිල ශ‍්‍රී නාගමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද දෙනගම රාහුල නායක ස්වාමීන්වහන්සේ මෙම ඝාතනය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ කළේ සංඝාවාසය තුළ සිටි දේවානන්ද හාමුදුරුවන් එළියට ඇදගෙන ගොස් ඉතාමත් අමානුෂික ලෙස පහරදීම් සිදු කර ඇති බවයි.

“ප‍්‍රදේශයේ ලියාපදිංචි ධීවර සමිතියකුත් නැහැ. නමුත් කීප දෙනෙක් මේ විහාරස්ථානය ඉදිරිපස කොටසේ මාළු ඇල්ලීම සිදු කරන නිසා අපේ අපවත් වෙච්ච දේවානන්ද හාමුදුරුවන් මේ අයට විහාරස්ථානය ඉදිරිපස මෙවැනි අකුසල් සිදුවන දේවල් කරන්න එපා යි කියා කීප වතාවක් අවවාද කර තිබෙනවා. මේ ගැන උන්වහන්සේ වැලිගම පොලිසියේ පැමිණිල්ලක් දමා දැනුවත් කිරීමක් ද කර තිබුණා. උන්වහන්සේ ගේ ඉල්ලීම වුණේ විහාරස්ථානය ඉදිරිපස මීටර් හතළිහක් විතර කොටස අතහැර ඉන් එහාට ගිහින් ඕන එකක් කරන්න කියලා.

හරියටම පහුගිය අපේ‍්‍රල් මස විසිනම වෙනිදා සවස හතරට පමණ තරුණයෙක් විහාරස්ථානය ඉදිරිපස මාළු ඇල්ලීම සිදු කරන අවස්ථාවේ උන්වහන්සේ ගිහින් එම තරුණයා ට අවවාදයක් කර තිබෙනවා මාළු ඇල්ලීමෙන් වළකින්නැයි කියා. පසුව එම සිද්ධියෙන් අනතුරුව හැන්දෑවේ ඔහු ත‍්‍රිරෝද රථයක තවත් පස්දෙනෙකු දමාගෙන පැමිණ සංඝාවාසය තුළ සිටි දේවානන්ද හාමුදුරුවන් එළියට ඇදගෙන ගොස් ඉතාමත් අමානුෂික ලෙස පහරදීම් සිදු කර තිබෙනවා. “