පී සී ආර් වාර්තාව එනවිට මිනිය නරක් වෙලා

0
PCR - පී සී ආර් වාර්තාව එනවිට මිනිය නරක් වෙලා
පී.සී.ආර්. පරික්ෂණ වාර්තාව ලැබෙන තෙක් තිස්සමහරාම මූලික රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි අධිශීතකරණයෙහි තැබූ පනස් හතර හැවිරිදි එක් දරු පියකුගේ මළසිරුර ඥාතීන්ට භාර දීමේදී නරක් වී දුගඳ හැමීම නිසා එම මළ සිරුර නිවසට රැගෙන නොගොස් අතර මගදී මිහිදන් කිරීමට පවුලේ ඥාතීන්ට සිදු වී ඇත.

මෙය බරපතළ වරදක් බැවින් යම් නිලධාරියකුගෙන් හෝ සේවකයකුගේ අතපසු වීමකින් සිදු වූවක්ද කියා සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් පවත්වන්නැයි තිස්සමහරාම හදිසි මරණ පරික්ෂක කේ. ජී. සී. නිරන්ජන් විසින් තිස්සමහරාම රෝහල් අධිකාරිවරයාට නියෝගයක්ද කර තිබේ.

එම පරික්ෂණය තුළින් යම් අයකුගේ වරදින් ශීතකරණය අක්‍රිය වීමෙන් එම මළ සිරුර නරක් වී ඇත්නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර මිය ගිය අයගේ ඥාතින්ට සාධාරණයක් සිදු කරන ලෙසටද හදිසි මරණ පරික්ෂකවරයා රෝහල් අධිකාරිවරයාට ලබා දෙන ලද නියෝගයෙන් කියා සිටි.

එසේත් නැතිනම් මළ සිරුර තැන්පත් කර තිබූ අධි ශිතකරණය ස්වයංක්‍රිව අක්‍රිය වීමෙන් සිදු වූ දෙයක් නම් එහි වගකීම රෝහල් බලධාරින්ට පමණක් පවරා කිසිවකුටත් ඉන් නිදහස් වීමට නොහැකි බව පවසන හදිසි මරණ පරික්ෂකවරයා එහි වගකීම සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරින් භාරගත යුතු බවද කීවේය.

තිස්සමහරාම අකුරුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සෆාරි ජීප් රථ රියැදුරකු වන ඒ. ජී. රන්ජන් නමැති අයගේ මළ සිරුර මෙසේ නරක් වී තිබිණි. ඔහු රාත්‍රි නින්දේ දී හෘදයාබාධයකට ලක්ව මිය ගොස් ඇති බව අනාවරණය වේ.

මිය ගිය අයගේ හදිසි මරණ පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පෙර පී. සී. ආර්. පරික්ෂණයක් පවත්වා එහි වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් මළ සිරුර රෝහල් මෘත ශරීරාගාරයෙහි අධි ශීතකරණයෙහි තැන්පත් කර තිබේ.

මිය ගිය දිනට පසුදින පී. සී. ආර් පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු හදිසි මරණ පරික්ෂකවරයාගේ නියෝග මත අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි. එහිදී ශීතකරණයෙන් මළ සිරුර එළියට ගන්නා අවස්ථාවෙහි එම මළ සිරුර නරක් වී ඇති බව දැන ගන්නට ලැබී ඇත.

පශ්චාත් මරණ පරික්ෂණ සිදු කිරීමෙන් දුගඳ හමන එම මළසිරුර නිවසට ගෙන යෑමට නොහැකි වූ බැවින් මළ සිරුර අතර මගදී මිහිදන් කිරීමට පවුලේ ඥාතීන්ට සිදුවිය.