නිර්වින්දනයකින් තොරව සිදු කළ මොළයේ සැත්කම

0
Success Brain Operation in Badulla Hospital - නිර්වින්දනයකින් තොරව සිදු කළ මොළයේ සැත්කම

රෝගියෙකු නිර්වින්දනය කිරීමකින් තොරව මොළයේ සැත්කමක් සිදු කිරීමට බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

මෙවැනි සැත්කමක් මීට පෙර මෙරට සිදුකර තිබුණේ එක් වතාවක් පමණයි.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් පියයුරු පිළිකාවක් වැලදී ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් ඇය ශල්‍ය කර්මයකට ලක් කර තිබුණේ 2018 වසරේදීයි.

අනතුරුව ඇයට හදිසියේම සිය දකුණු අත පණ නැති වී ගොස් ඇති අතර, කතා කිරීමේදී ද දැඩි අපහසුතාවක් මතුව තිබෙනවා.

ඒ පිළිබඳව අවධානය යොමු කළ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර තිබුණේ ඇය ස්කෑන් පරීක්‍ෂණයකට යොමු කිරීමටයි.

එහිදී රෝගියාගේ මොළයේ වම්පස දකුණු අත සහ කථනය පාලනය කරනු ලබන කොටසේ සෙන්ටිමීටර් 03 ක පමණ ගෙඩියක් හටගෙන ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ගෙන තිබෙනවා.

ඒ අනුව ඒ අසීරු කාර්යභාරගත් බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ප්‍රථමයෙන් ඇය නිර්වින්දනය කර ඇයගේ හිස් කබල විවෘත කර නැවත ඇයට සිහිය ලබාගෙන සැත්කම ආරම්භ කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඇය සමග අදහස් හුවමාරු කරගනිමින් ඇයගේ මොළයේ හටගෙන ගෙඩියක් කපා ඉවත් කිරීමයි.

බදුල්ල මහ රෝහලේ දී මෙම අසීරු සැත්කම සිදු කිරීමේ වගකීම ප්‍රධාන වශයෙන් පැවරී තිබුණේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හර්ෂිකා තැන්නදිගේ මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් වෙතයි.

මෙවැනි සැත්කමක් මීට පෙර ශ්‍රී ලංකාව තුළ සාර්ථකව සිදුකර තිබුණේ දැනට වසර එකහමාරකට පෙර අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී පමණයි.