නිර්දේශයකින් තොරව කොවිඩ් සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා නොගන්නැයි අවවාද

0
Statement of Antibiotics for Covid - නිර්දේශයකින් තොරව කොවිඩ් සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා නොගන්නැයි අවවාද
කොවිඩ් වෛරසයෙන් සුවවීමට වෛද්‍ය නිර්දේශයන් නොමැතිව ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම තුළින් සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ලවන බව ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය පවසයි.

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හා අධිභාවිතය හේතුවෙන් මේ වන විට ගෝලීය වශයෙන් බරපතළ සෞඛ්‍ය අර්බුදයකට මුහුණපා ඇතැයි ද එම විද්‍යායතනය අවධාරණය කරයි.

එම විද්‍යාතනයේ සභාපතිනි, කොළඹ ජාතික රෝහලේ සායනික ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය ගීතිකා පටබැඳිගේ මහත්මිය පවසා සිටියේ, ජනතාව විශාල වශයෙන් ප්‍රතිජීවක ඖෂධ වෛරස පාලනය කිරීමට යොදා ගැනීමෙන් මීට පෙර ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් රෝග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවය.

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හේතුවෙන් ඇති වෙන ප්‍රතිරෝධී බැක්ටීරියා හේතුවෙන් 2050 වන විට වසරකට මිලියන 10ක පමණ ප්‍රමාණයක් මියයෑමේ හැකියාවක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට අනතුරු ඇඟවා ඇතැයි ද වෛද්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

එනිසා සියලුදෙනා ඇන්ටිබයොක්ටික් නැතිනම් ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය සහ අධිභාවිතය අවම කරගැනීමට කටයුතු කළ යුතු බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.

මේ අතර, කොවිඩ් -19 තත්ත්වය හමුවේ ජනතාව ඖෂධ වෛද්‍ය නිර්දේශ නොමැතිව භාවිත කිරීම කිසි ලෙසකින්වත් සුදුසු නොමැති බව ද ඇය පැවසුවාය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ගීතිකා පටබැඳිගේ මහත්මිය,

“සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධ ගත්තහම ඒවා බැක්ටීරියා සඳහා, වෛරස සඳහා, දිලීර සඳහා සහ පරපෝශිතයින් සඳහා උන් විනාශ කිරීමට යොදාගන්නා ඖෂධ වර්ග වෙනවා. ඒ අතරින් වැඩියෙන්ම සමාජය තුළ පාවිච්චි කරනු ලබන්නේ, ඇන්ටිබයොටික්ස්. අපි කියනවා ඒවා ප්‍රතිජීවක කියලා. ඒවා භාවිත කරන්නේ බැක්ටීරියා විනාශ කිරීම සඳහා සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම සඳහා. නමුත් සමාජයේ සිටින පුද්ගලයින් සමහර වෙලාවට දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම ප්‍රතිජීවක එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් පාවිච්චි කරනවා වෛරස ආසාදන මැඩපැවැත්වීමට. ඒ වගේම සුළු බැක්ටීරියා ආසාදන වළක්වා ගැනීම සඳහා භාවිත කරනවා. නමුත් මෙම ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන්නේ ටිකක් බරපතළ බැක්ටීරියාවලින් ඇතිවෙන ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා තමයි මේවා පාවිච්චි කළ යුත්තේ. ඒවා ඉතාම වටිනා අනගි ඖෂධ. මේවා ජීවිත ආරක්ෂක ඖෂධ කියලා අපි කියන්නේ. මෙම ඇන්ටිබයොටික් ප්‍රතිජීවක නිෂ්පාදනය දැනට අවම මට්ටමක පවතින්නේ. මොකද ඉක්මනින් නිෂ්පාදනය කරාට පස්සේ, ඉක්මනින් ප්‍රතිරෝධය ඇතිවෙන නිසා. අපි සාමාන්‍ය රෝහල්වල වැඩ කරනකොට අපි දැකලා තියෙනවා බහු ප්‍රතිරෝධී සහ සියලුම ඇන්ටිබයොටික් ඖෂධ සඳහා ප්‍රතිරෝධී වු බැක්ටීරියාවන් විශාල වශයෙන් පවතිනවා. ඒකෙන් වෙන්නේ කලින් ප්‍රතිකාර කළ හැකිව තිබුණු ආසාදන රෝග දැන් ප්‍රතිකාර කිරීමට නොහැකි තත්ත්වයට පත්වෙලා මරණය පවා සිදුවිය හැකි අවස්ථාවක් තියෙනවා. ඒ වගේම විශාල වශයෙන් රෝගාතුර වෙලා වැඩි කාලයක් රෝහල් තුළ ගතකිරීම මඟින් විශාල ධනයක් යෙදවීමට සිදුවෙනවා.”

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ”දැනුවත් කරමු ප්‍රතිරෝධය වළක්වමු” යන මැයෙන් ප්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ සතිය මුල් කරගනිමින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)