සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද

0
සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද
වසර 600කින් පමණ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද සිදු වන අතර, එහි දී චන්ද්‍රයාගේ මුහුණත 99%කින් රත් පැහැගැන්වෙනු ඇති.

මෙම පාර්ශ්වීය චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.32ට ආරම්භ වී පැය 3යි විනාඩි 28ක කාලයක් පවතිනු ඇති බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.

එසේ වුව ද චන්ද්‍රග්‍රහණයේ සම්පූර්ණ කාලය පැය හයයි විනාඩියක්.

චන්ද්‍රයා එහි ඉලිප්සීය කක්ෂයේ පෘථිවියේ සිට ඇති දුර ම ස්ථානයේ පිහිටි විටක දී චන්ද්‍රයාගේ කක්ෂීය වේගය අවම වන අවස්ථාවක චන්ද්‍රග්‍රහණය සිදු වීම ඊට හේතුව බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළා.

කෙසේ නමුත් මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවන අතර, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පොලිනීසියාව, ඔස්ට්‍රේලියාව සහ ඊසාන දිග ආසියාවේ ප්‍රදේශ රැසකට එය දිස්වනු ඇති.

මෙවැනි දීර්ඝ චන්ද්‍රග්‍රහණයක් යළි දිස්වනු ඇත්තේ තවත් වසර 648කින් එනම්, 2669 වසරේ පෙබරවාරි අට වැනි දා යි.