රුපියල් 20ට මිනී මරපු 3 දෙනෙක්

0
රුපියල් 20ට මිනී මරපු 3 දෙනෙක්
රුපියල් 20 ක් සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් සංවාදයක් මුල්කරගෙන 29 හැවිරිදි අවිවාහක තරුණයකු තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කොට කාන්තාවන් දෙදෙනකු ඇතුළු මරණකරුගේ ඥාතීන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියම කළ මරණීය දණ්ඩනය හා සෙසු දණ්ඩන නියෝගයන් අභියෝගයට ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය මහාධිකරණයේ තීන්දුව ස්ථිර කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

1996.11.02 වැනිදා පන්නිපිටියේදී සුසන්ත පෙරේරා නැමැත්තාව කඩු පිහි හා කිණිසි වලින් කපා කොටා ඝාතනය කිරීම හා එකී ඝාතනය වැළැක්වීමට උත්සාහ කළ ඔහුගේ ඥාතීන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා යටතේ විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ පුර්වගාමි ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරුවන් තිදෙනකුට මරණ දඩුවම නියම කොට සෙසු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කොට තිබෙනවා.

මහාධිකරණය විසින් 2018.07.18 වැනිදා නියම කළ මරණීය දණ්ඩන නියෝගය හා දඩ නියෝගයන්ට එරෙහිව ලක්මාල් ප්‍රදීප් ප්‍රේමචන්ද්‍ර, සුමිත් ශ්‍රී ලාල් හා සුදත් කුමාර නමැති විත්තිකාර පෙත්සම්කරුවන්ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පත් සලකා බැලූ නිශ්ශංක බන්දුල කරුණාරත්න හා රත්නප්‍රිය ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල එම නියෝගය කර ඇත්තේ.

මහාධිකරණය විසින් සිය සේවාදායකයන්ට එරෙහිව එම දඩුවම් නියම කර ඇත්තේ එකී අපරාධයට ඔවුන්ගේ ඇති සම්බන්ධතාවය හා එම අපරාධය සිදුවන මොහොතේ ඔවුන් එම ස්ථානයේ සිටියේ දැයි නිශ්චිතවම තහවුරු කර ගැනීමකින් තොරව වන්නේ යැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ තර්ක විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර නීතිඥ ඉන්දිකා මල්ලවආරච්චි මහත්මිය, ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු හා ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි යන මහත්වරු පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියා.