අදත් දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

0
Today Weather Forecast - අදත් දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

දිවයින හරහා විටින් විට පැ.කි.මි. (40-50) පමණ තද සුළං ඇතිවිය හැකියි.

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට මධ්‍යම අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතිනවා.

මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 17 දින පමණ වනවිට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක් බවට පත්විය හැකි අතර, පසුව මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, නොවැම්බර් 18 දින පමණ වනවිට ඉන්දියාවේ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ වෙත ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සහ ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටිනු ලබනවා.

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩකඩ පවතිනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිර දෙසින් හමා එනවා.

සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ අගයක් ගන්නා අතර, කන්කසන්තුරය සිට මන්නාරම,කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (55-60) පමණ දක්වා වැඩි විය හැකියි.

කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.