කොළඹට එන සමගි ජන බලවේගයට පොලිසියෙන් දැනුම්දීමක්

0
Protest of Samagi Jana Balawegaya - කොළඹට එන සමගි ජන බලවේගයට පොලිසියෙන් දැනුම්දීමක්
යම් විරෝධතාවක් සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පිරිස අද (16) කොළඹ නගරයට ඒකරාශීවන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එය වැළැක්වීම සඳහා පොලීසිය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

කොවිඩ් පාලනය සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත්කර ඇති ගැසට් පත්‍රයට අනුව, ඔහුගේ අවසරය නොමැතිව මහජන ඒකරාශී වීම් තහනම් කර ඇත.

මේ තත්ත්වය මත කොළඹ නගරයට ජනතාව කැඳවීම සම්බන්ධව පොලීසිය කළ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත තුළ මහෙස්ත්‍රාත් අධිකරණ 7ක් මගින් එවැනි ඒකරාශිවීම් තහනම් කර ඇති බව ඒ මහතා පවසයි.

ඒ අනුව, රැස්වීම සඳහා මහජනතාව ඒකරාශී වීම, කැඳවීම, සහභාගීවීම නිතී විරෝධී බව ඒ මහතා ප්‍රකාශ කරයි.

යම් පුද්ගලයෙකු එලෙස කටයුතු කරන්නේ නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය මගින් පොලිස් නිලධාරින්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.