යුගදනාවි නඩුවට විමල්-උදය-වාසු වෙනුවෙන් වෙනම නීතිඥවරයෙක්

0
යුගදනාවි නඩුවට විමල්-උදය-වාසු වෙනුවෙන් වෙනම නීතිඥවරයෙක්
කෙරවලපිටිය යුගදනාවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලීක අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත්‍ කිරීමට එම පක්ෂ තීරණය කර ඇත බව වාර්තා වේ

ඒ අනුව අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය උදය ගම්මන්පිල හා අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන් සඳහා වෙනත් නීතිඥයෙකු පෙනී සිටීමට නියමිතය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් පසුගියදා රැස්වී මෙම තීරණයට එළඹ තිබේ.

අමාත්‍ය මණ්ඩලයට එරෙහිව නඩු පැවරීමකදී අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර, අමාත්‍යවරුන් පිරිසක් වෙනුවෙන් වෙනත් නීතිඥයෙකු ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය වේ. යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් ආණ්ඩුවේ මතයට වඩා වෙනස් මතයක් දැරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා විය.

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට හා ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක් ඉදිරිපත් වී තිබේ.

කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40%ක් ඇමෙරිකානු සමාගමක් වෙත පැරීවමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බව පවසමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාප්පක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමෙරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.