සපුගස්කන්දේ නොනිවෙන ගිනි සිළ අද සිට නවතී

0
සපුගස්කන්දේ නොනිවෙන ගිනි සිළ අද සිට නවතී
ගබඩා කරතිබූ බොරතෙල් අවසන් වීම හේතුවෙන් අද(15) සිට සපුගස්කන්දේ පිරිපහදු ක්‍රියාවලිය නතර කිරීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඊයේ(14) පැවසුවේය.

පවතින වියදම අනුව පිරිපහදු කිරීමෙන් වැඩිපුර ලැබෙන්නේ පෙට්‍රල් සහ ඩීසල් නොව දැවිතෙල් බව කී එම ප්‍රකාශකයා ඩොලර් මිලියන හැටක් වැය කර බොරතෙල් ගෙන්වූවත් පිරිපහදු කිරීමෙන් පසුව ලබාගත හැක්කේ ඩොලර් මිලියන තිහක ඩීසල් හා පෙට්‍රල් ප්‍රමාණයක් බව ද කීවේය.

මේ පිළිබඳ සැබෑ තත්ත්වය බලශක්ති අමාත්‍යාංශය අද (15 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් දෙසැම්බර් අවසානය තෙක් බොරතෙල් නැවක් මෙරටට නොපැමිණෙන බව ද එතෙක් ඩීසල්, පෙට්‍රල්, ඇතුළු දැවිතෙල් සැපයීම අඩාළ වනු ඇතැයි ද ඛණිජ තෙල් වෘත්තිය සමිති පවසයි.

බොරතෙල් ආනයනය කරන තුරු සපුගස්කන්ද පිරිපහදුවේ යන්ත්‍ර සක්‍රීය කිරීමට නොහැකිවනු ඇතැයි ද පැවැසූ ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අසෝක රන්වල පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට නම් අඛණ්ඩව බොරතෙල් අවශ්‍ය වන බව පැවැසුවේය. ඒ සඳහා බොරතෙල් ලබාදීමට ආණ්ඩුව බැඳී සිටින බව ද කී ඔහු කල් තියා බොරතෙල් ඇණවුම් කිරීම ආණ්ඩුවේ වගකීම යැයිද පැවැසීය.

සපුගස්කන්ද පිරිපහදුව අක්‍රීය වුවහොත් යළි සක්‍රීය කිරීමටද සතියක පමණ කාලයක් ගතවනු ඇතැයිද ආචාර්ය රන්වල කීවේය.

ආසියාවේ නොනිවෙන ගිනි සිළ මෙසේ අක්‍රීය වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට බවද පිරිපහදුව ආරම්භ කළ 1969 වසරේ සිට මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරගෙන ආ බවද සමගි ජන බලවේගයේ ඒකාබද්ධ වෘත්තිය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත පැවැසුවේය. වැඩ වර්ජනයකදී පවා පිරිපහදුව අක්‍රීයවීමට සේවකයින් ඉඩ නොදුන් බව හෙතෙම කීය.

විෂයභාර ඇමැති උදය ගම්මන්පිල සිය කාර්යභාරය නිසි ලෙස ඉටු නොකළ නිසා පිරිපහදුව මෙසේ වසා දැමීමට සිදුව ඇතැයිද මේ අනුව භූමිතෙල් අර්බුදය තවත් දරුණුවනු ඇතැයිද පැවැසුවේය.