තනතුරු නැති වුණත් මාස 15ක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව

0
VIP Security for Former Ministers and MPs - තනතුරු නැති වුණත් මාස 15ක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව
පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරුන්ට, හිටපු මන්ත්‍රීවරුන්ට අමතරව ,හිටපු ආණ්ඩුකාරවරුන් පිරිසකටද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වේ.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී පරාජයට පත්වූ මෙම මැති ඇමැතිවරුන් පිරිසට ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනා බැගින් ලබා දී ඇති අතර, එම පිරිස ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් අය බවද දැනගන්නට ඇත.

මේ අතර, නගර සභාවක හිටපු සභාපතිවරයකුටද වසර කිහිපයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබාදී ඇති අතර, ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනා ඉවත් කර ඇත්තේ පසුගිය සතියේ බවද දැනගන්නට තිබේ.

හිටපු මැති ඇමතිවරුන්ට මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී ද මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධය පළවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුපෙළ නියෝජනය කරන, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද එම උපදේශක කාර්ය සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර, හිටපු මැති ඇමතිවරුන්ට මේ ආකාරයෙන් ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන්නේ කුමන පදනමකින්ද යන්න ඔහු විමසා ඇතැයි දැනගන්නට ඇත.

හිටපු ආරක්ෂක ඇමතිවරුන් , පොලීසිය භාර ඇමති වරුන් ආදි විශේෂිත පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති නමුත්, එසේ නොමැති පුද්ගලයන්ට ආරක්ෂාව ලබා දීම ගැටලුවක් බව ඔහු සඳහන් කර ඇත .

හිටපු ඇතැම් මැති ඇමතිවරුන් උද්ඝෝෂණ ආදියට ද, සිය ව්‍යාපාරික කටයුතු සදහාද, මෙම ප්‍රභූ ආරක්ෂකයින් රැගෙන යන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කර ඇත්තේ, අදාළ කාරණය සම්බන්ධයෙන් තමා වහා සොයා බලන බවය.