තවත් කාලගුණ අනතුරු ඇඟවීමක්

0
Weather Warning - තවත් කාලගුණ අනතුරු ඇඟවීමක්
දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව තවත් අඩුපීඩන කලාපයක් ඇතිවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම නිසා දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

මේ අතර දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 26ක් දක්වා ඉහළගොස් තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයට පහළින් මීටර 100ක පස් සෝදා යාමක් නිරීක්ෂණය වන බවය.

ඒ අනුව නායයාමේ අවදානම හේතුවෙන් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණේ පසුගිය 10වනදා රාත්‍රියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න මහතා,

“මහා මාර්ගයෙන් පහළ ප්‍රදේශය බැලුවාම අපිට දකින්නට ලැබුණා එක දිගට ගස් කිහිපයක් ම නැමිලා තිබුණා. ඒ කියන්නේ පහළ යම්කිසි විදියක චලනයක් සිද්ධවෙලා තියෙනවා. චලනයක් කියන්නේ සෙලවීමක් හරි පස තල්ලුවීමක්. ඒ කියන්නේ එතැන යම්කිසි ක්‍රියාවක් වෙලා තියෙන්න ඉඩ තියෙනවා. ඉහළ සිට එන වතුර අධික බොර ගතියයි. ඒ කියන්නේ පස් සෝදායෑමකට ලක්වෙලා තියෙනවා. ඉහළින් පොළොව අස්සට යන වතුර මඟින් ලොකු ඛාදනයක් සිද්ධවෙන බව පේනවා. මේ ඛාදනය තමයි අනතුරුදායක.”

තවදුරටත් එම ප්‍රදේශය ආශ්‍රිතව අයහපත් කාලගුණයක් පැවතීම නිසා මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද දිනයේදීත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.

මේ අතර දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයින් 230,185කට මේ වනවිට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ඒ අනුව පවුල් 3,693කට අයත් පුද්ගලයින් 12,349 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 88ක් වෙත යොමු කර තිබේ.