කඩුගන්නාව මාර්ගයට ඉහළ කොටසේ මීටර් 100ක පැල්මක්

0
Kadugannawa landslide
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව මාර්ගයට ඉහළ කොටසේ මීටර් 100 ක් පමණ දිගට පවතින පැල්මක් හේතුවෙන් එම භූමිය අස්ථායි තත්ත්වයට පත්ව තිබෙන බව ඊයේ (11) කළ නිරීක්ෂණවලදී අනාවරණය වූ බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසීය.

පහළ කඩුගන්නාව පලතුරු වෙළෙදසල් පිහිටා තිබෙන 98 වන කිලෝමීටර් කණුව ස්ථානයේ සහ කඩුගන්නාව ගල විදින ලද ස්ථානයට ඉහළ ප්‍රදේශයේ පස්කණ්ඩි කඩා වැටී තිබුණි. මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය හිඟුල ගනේතැන්න හන්දියේ සිට කඩුගන්නාව ගල විඳපු ස්ථානය දක්වා පෙරේදා (10) රාත්‍රි 10 සිට තාවකාලිකව වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අංශවලට දැනුම් දෙන ලදී.

ඉහළ තද බෑවුමේ සිට මාර්ගයට පස් කණ්ඩි කඩා වැටුණු භූමි ප්‍රදේශය ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඊයේ (11) පරීක්ෂාවට ලක් කළේය.ප්‍රධාන මාර්ගයත්, ඊට ඉහළින් දිවෙන දුම්රිය මාර්ගයත් අතර බෑවුම් කොටස නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන කැමරාද යොදා ගැණිනි.

ඊයේ (11) පෙරවරුවේ දී පහළ කඩුගන්නාව ප්‍රදේශයට තද වැසි ඇඳහැළීම හේතුවෙන් මාර්ගය අද (12) වනතුරු විවෘත නොකරන ලෙස ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ නිලධාරීන් මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේය.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් තත්ත්වය යථාවත් කරන තුරු මාර්ගය විවෘත නොකර සිටීම පිළිබදව ද ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ අවධානය යොමුවී ඇත.

පසුගිය දින කීපයේ වර්ෂාවත් සමග විශාල ජල පහරක් ඉහළ කඳු ප්‍රදේශයේ සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයට ගලා ඒම නිසා භූමිය අස්ථායි තත්ත්වයට පත්ව තිබෙන බවත්,මාර්ගයේ පලතුරු වෙළෙඳසල් පිහිටි කොටසේ සිට මීටර් 100 ක් ඉහළින් විශාල ගලක් තිබෙන ස්ථානය දක්වා පැල්ම විහිදී තිබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

අදාළ පැල්ම වසා දමා එම ප්‍රදේශයේ භූමි අභ්‍යන්තරයේ තිබෙන ජලය ඉවත් කිරීමට කඩිනමින් කටයුතු යොදා ඇතැයිද ඔහු සඳහන් කළේය.

පහළ කඩුගන්නාවේ මාර්ගයෙන් පහළ කොටසේ අවදානම් තත්ත්වයක් නොමැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

එමෙන්ම, කඩුගන්නාව ගල විද්ද තැනට ඉහළින් බෞද්ධ මධ්‍යස්ථානය අසල ඉවුරු කඩා වැටීමක් සිදුවී තිබෙන බැවින්, එම ස්ථානය අසලද පැති බැම්මක් ඉදිකළ යුතුව ඇතැයිද ඔහු පැවසීය.

පහළ කඩුගන්නාව වෙළෙඳ සල්වල සිටින පිරිස එම ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කළ බවද,අස්ථායි භූමි ප්‍රදේශය අද දිනයේදී ද පුළුල් පරීක්ෂාවකට ලක්කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කඩුගන්නාව ප්‍රධාන මාර්ගයට පහළ ප්‍රදේශයේ පදිංචි පවුල් 09ක පුද්ගලයන් 35ක් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කළ බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල කීවේය.

කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය තවදුරටත් අද පෙරවරු 9 තෙක් වසා තැබෙන බව මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

මාර්ගය වසා දැමීම නිසා සිදුවන අවහිරතා වළක්වා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කොළඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සඳහා විකල්ප ලෙස,

• අඹේපුස්ස හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවර
• කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
• මාවනැල්ල සිට රඹුක්කන – හතරලියැද්ද – ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර.
• මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල – පේරාදෙණිය මහනුවර යන මාර්ග භාවිත කළ හැකිය.

මහනුවර සිට කොළඹට ගමන් කරන රථවාහන සඳහා විකල්ප මාර්ග ලෙස,

• කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹ දක්වා
• කටුගස්තොට – ගලගෙදර – රඹුක්කනට පැමිණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොළඹ යන මාර්ග භාවිත කළ හැකිය.