හිමිකරු බලා සිටියදී ගම්පොළ හෝටලයක් අටබාගේ ඔයට පෙරළෙයි

0
හිමිකරු බලා සිටියදී ගම්පොළ හෝටලයක් අටබාගේ ඔයට පෙරළෙයි
ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් ව්‍යාපාරික මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී අටබාගේ ඔයට පෙරළී තිබේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (නොවැ. 10) රාත්‍රියේ මෙම ගොඩනැගිල්ල නාය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මෙය හෝටලයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් වන අතර එහි සිටි අයිතිකරු සහ ඔහුගේ පුතු ඊයේ
(නොවැ. 10) රාත්‍රියේදී හෝටලය වසා දමා එළියට පැමිණි අවස්ථාවේදී මෙම ගොඩනැගිල්ල නාය
ගොස් තිබේ.

හෝටලේ අයිතිකරු සහ ඔහුගේ පුත්‍රයා හෝටලය අසල පිහිටි නිවසක පදිංචිව සිටින අතර එම නිවසේ
කොටසක් ද නායයාමට හසුව තිබේ.මෙම සිද්ධියෙන් කිසිදු පුද්ගල හානියක් සිදු වී නොමැති අතර ඒ අසල සිටින
නිවැසියන් මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

මේ අතර, ගම්පොළ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මේ
හේතුවෙන් නුවරඑළිය මාර්ගය පුපුරා ගොස් ඇති බැවින් වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව ය.