නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුවට

0
Budget to Parliament by Basil Rajapaksa - නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුවට
නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ලෙස 2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය ලේඛනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය කතාව වන අතර එය වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැයයි.

හෙට සිට ලබන 22 වන සඳුදා දක්වා දින 07 ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 22 වන සඳුදා පස්වරු 5.00 ටයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය 03 වනවර කියවීම නොවැම්බර් මස 23 වනදා ආරම්භවන අතර එතැන් සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා සෙනසුරාදා දිනද ඇතුළුව දින 16 ක කාලයක් එය විවාද කිරීමට නියමිතයි.

අයවැය අවසාන වර කියැවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ට පාර්ලිමේන්තුවේදි පැවැත්වෙනු ඇති.

ලබන ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාව තුළ සේවා වියදම් සඳහා රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන 34 කෝටි 65 ලක්ෂ 58 000 ක මුදලක් ආණ්ඩුවේ වියදම්වලට අදාල පුනරාවර්තන සහ මූලධන වියදම් සඳහා මෙවර අයවැය ලේඛනයෙන් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සඳහා වන අතර එය රුපියල් බිලියන 373 ක්.

එමෙන්ම එළඹෙන වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ලෙස රුපියල් බිලියන 185.9 ක්ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය ලෙස රුපියල් බිලියන 127.6 ක්ද, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 153.5 ක්ද වෙන්කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 243.9 ක්.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද විකාශය කෙරෙනු ඇති.

අද දිනයේදී ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කලා.

අයවැය කථාව සිදුකිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය පැවැත්වෙනවා.

එහෙත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇති.

අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරින් සීමිත පිරිසකට පමණක් අයවැය කාරක සභා අවස්ථාවට සහභාගිවීමට අවසර ලබා දී තිබෙනවා.