කතරගම දේවාලයේ මැණිකකුත් අතුරුදන්

0
messing - කතරගම දේවාලයේ මිලියන 50 ක මැණිකකුත් අතුරුදන්
කතරගම දේවාලයට රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් පූජා කළ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුතු මැණිකක් ද අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා. මේ වන විට ඒ සම්බන්ධයෙන්ද විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මේ අතර කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බරුති රන් තැටියක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අංගොඩ ලොක්කාගේ බිරිද වන අගම්පොඩිගේ නිසසංලා නැමැත්තියගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. අංගොඩ ලොක්කගේ පුතාගේ අපල දුරුවීම සඳහා එම රන් තැටිය කතරගම දේවාලයට පූජා කර ඇත්තේ 2019 වසරේ ජූලි මස 03 වනදා බවටයි තොරතුරු අනාවරණය වි ඇත්තේ.

මෙම රන් තැටිය අතුරුදන්වීම සම්බන්දයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට තොරතුරු ලැබී ඇත්තේ වට්ස් ඇප් පනිවුඩයක් ඔස්සේයි. ඒ, ඉකුත් ඔක්තෝම්බර් මස 17 වනදායි. ඒ අනුව බස්නායක නිලමේවරයා විසින් ඔක්තෝම්බර් මස 18 වනදා ඒ පිළිබද පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත පැමිණිලි කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියෝග කර ඇත්තේ ඒ අනුවයි.

එම විමර්ශණ ආරම්භ වීමත් සමඟ පසුගිය මස 26 වනදා එන් එම් අජිත් පුෂ්පකුමාර නැමැත්තෙකු විසින් අතුරුදන්වූ රන් තැටියට සමාන රන් පැහැති තැටියක් ගෙනවිත් කතරගම දේවාලයේ පරිපාලන ලේකම්වරයාට භාරදී තිබෙනවා.

ඔහු සදහන් කර ඇත්තේ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායකගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු විසින් එම රන් පැහැති තැටිය දේවාලයට භාර දෙන ලෙස පවසා තමන් වෙත භාරදුන් බවයි.

අදාළ තැටිය දේවාලයට අයත් එකක් බව ප්‍රධාන කපු මහතා එහිදී ප්‍රකාශ කළ බව එන් එම් අජිත් පුෂ්පකුමාර නමැත්තා දේවාලයේ පරිපාලන ලේකම්වරයා වෙත ලිපියකින් දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.