අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මරණ 11ක්

0
inclement weather - අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 11ක්
අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් පුද්ගල මරණ 11 ක් වාර්තා වී තිබේ.

දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 5ක්, නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් මෙලෙස වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

අද (09) අලුයම රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මවක් සහ දැරියන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් සිව්දෙනෙකු එම නිවසේ සිට ඇති බවය.

අනතුරින් 35 හැවිරිදි මව, 8 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි ඥාති දියණියක් මියගොස් තිබේ.

පියා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහල වෙත මාරුකර යැවූ බව රඹුක්කන රෝහලේ අධ්‍යක්ෂ සුමින්ද ගමගේ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ රාත්‍රී අලව්ව නාරම්මල වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම තරුණියගේ මව සහ සොහොයුරා ද නිවසේ සිට ඇති නමුත් ඔවුන් දෙදෙනාට අනතුරක් සිදුව නොමැති බව පොලීසිය පැවසුවේය.

මියගිය තරුණිය කොළඹ ප්‍රදේශයේ පුද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් බව ද සඳහන්ය.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්ව‍යෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 78 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය.

කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බුත්ගමුව ග්‍රාම නිලධාරි වසමේ නිවාස 42ක් ජලයෙන් යට වී ඇති අතර පුත්තලම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මදුරන්කුලිය වේලානිය ගම්මානයේ නිවාස 25ක් ජලයෙන් යට වී තිබේ.

මහඔය පිටාර ගැලීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යට වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

ගස් කඩා වැටීම හේතුවෙන් රඹුක්කන – මාවනැල්ල මාර්ගය අවහිර වී තිබේ.

මේ අතර විදේශිකයින් රැගත් බස් රථයක් පුත්තලම පාලවිය ප්‍රදේශයේදී ජල පහරකට හසු වීමේ සිදුවීමක් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ගංගා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මහඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත් බිම්වලට දැඩි ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේය.

මේ අතර අද දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් ඉදිරි දින දෙක තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේය.