සංගාගෙන් අසලංක ගැන අනාගත වාක්‍යයක්

0
Asalanka from Sanga - සංගාගෙන් අසලංක ගැන අනාගත වාක්‍යයක්
යොවුන් ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග දිනවන්නෙකු වනු ඇතැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි.විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය සඳහා පැමිණි මාධ්‍යවේදීන් සමගින් සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමින් සංගක්කාර මේ බව කියා සිටියේය.‍

‘මම හිතන්නේ ඔහු ඉතාමත් හොඳින් ඔහුගේ කාර්යය ඉටු කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිගුකාලීන ක්‍රිකට් දිවියක් ගත කරන, ලකුණු විශාල සංඛ්‍යාවක් රැස්කළ හැකි වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග රාශියක් ජයග්‍රහණය කර දිය හැකි ක්‍රීඩකයෙක් ඔහු. ඒ වගේම ඉදිරියේදී ශ්‍රී ලංකා පිලේ පදනම චරිත් බවට පත් විය හැකියි.’ යනුවෙන් සංගක්කාර පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කලක පටන් පැවැති නොම්මර තුන ස්ථානයේ අඩුව පිරවීම සඳහා මේ වන විට චරිත් අසලංක කදිම විසඳුම බවට පත්ව තිබේ. මීට පෙර මෑත කාලයේ අදාළ නොම්මර තුන ස්ථානයේ ක්‍රීඩා කිරීම සඳහා කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන්ද යොදවමින් අත්හදා බැලූ නමුත් ඔවුන් එක් අයෙකුටවත් එම ස්ථානයේ සාර්ථක වීමේ හැකියාවක් නොලැබුණි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු වටයේ මුල් තරග දෙකෙහිදී කණ්ඩායමේ ස්ථානයක් හෝ නොලැබුණු චරිත්, ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන්නේ නෙදර්ලන්තය සමග පැවැති අදාළ තුන්වැනි තරගයේදීය. එතැන් පටන් සුපිරි කණ්ඩායම් 12 වටයේ තරගාවලියද ඇතුළුව තරග 06කට සහභාගි වන චරිත් එහිදී ලකුණු 231ක් රැස්කරගන්නේ ඒ මොහොතේ තරගාවලියේ වැඩිම ලකුණුලාභියාද වෙමිනි. ඔහුගේ එක් ඉනිමක වැඩිම ලකුණු ලෙස සටහන් වන්නේ බංග්ලාදේශයට එරෙහිව පන්දු 49කදී නොදැවී ලකුණු 80ක් රැස් කිරීමය.

දඟ පන්දු යවන්නන්ට සහ වේග පන්දු යවන්නන්ට එරෙහිව එක ලෙස පන්දුවට පහරදීමේ හැකියාව මෙන්ම චරිත්ගේ බය නැති කම ඉතාමත් වැදගත් බවත් පවසන සංගක්කාර ‘ශ්‍රී ලංකා කණ්ඩායම සංක්‍රාන්ති සමයක සිටින මොහොතක කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීම සඳහා ක්‍රීඩකයන්ට බොහෝ දේ කිරීමට සිදු වෙනවා.

එවැනි අවස්ථාවක ක්‍රීඩකයන්ගේ හිතේ තරග පරාජය වීමේ බියක් ඇති වෙනවා. ඒ වගේම විශාල වෙනස්කම් කරා යාමට මෙන්ම තරගයට අවතීර්ණය වීම කෙරෙහිද ඔවුන්ට බියක් ඇති වෙනවා. නමුත් මම චරිත් අසලංක තුළින් එවැන්නක් දකින්නේ නැහැ.

ඔහු ඉතා දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වෙනවා.දැන් ඔහුට අවශ්‍ය වෙන්නේ ක්‍රීඩාංගණයෙන් ක්‍රීඩාංගණයට, රටින් රටට සහ ප්‍රතිවාදීන්ගෙන් ප්‍රතිවාදීන්ට අනුව තරගයක් පාලනය කිරීම සහ කලමනාකරණය කිරීමේ අකාරය හැඩගස්වා ගැනීමයි. ඉදිරියේදී විශිෂ්ට ක්‍රීඩකයෙකු බවට පත් වීමේ ලකුණු මේ වන විටත් ඔහු පෙන්වලා තියෙනවා.’ යි කීවේය.