ලංකාවේ නිපදවන කොම්පෝස්ට්වල මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය

0
In compost - ලංකාවේ නිපදවන කොම්පෝස්ට්වල මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය
ලංකාවේ කසළ කදු වලින් නිෂ්පාදනය කරන කොම්පොස්ට් වලින් සහ වසුරු පොහොරවලින් මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය එකතු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි.

පොහොර සම්බන්ධයෙන් තමා සිදු කළ පරීක්ෂණයක් මඟින් මේ බව අනාවරණය වූ බව මහාචාර්ය විතානගේ මහත්මිය පවසයි.

කසළ කඳුවලින් සැකසූ මේ කොම්පෝස්ට්වලින් ඇත්තටම සිදුවන්නේ කුණු ගොඩේ පවතින බැරලෝහ ගොවිබිමට මුහු කිරීම යැයි මහාචාර්යවරිය චෝදනා කරයි.

ලංකාවේ කසළවලින් සකසන කොම්පෝස්ට්වල බැර ලෝහ තිබේ නම් චීනයෙන් ගෙනෙන කොම්පෝස්ට්වල ද එවැනි අන්තර්ගතයක් නොතිබීමට පදනමක් නැතැයි ඇය පවසයි.

ඌරු හා කුකුල් කොටුවලින් ගන්නා වසුරු පොහොරවලින් ද මේ ආකාරයටම හෝමෝන හා ප්‍රතිජීවක ගොවිබිමට එකතු වන බවට පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන ඇත.

සත්ව ගොවිපලවලදී ඌරන් හා කුකුලන් සඳහා හෝමෝන හා ප්‍රතිජීවක විශාල සංඛ්‍යාවක් යොදාගන්නා බැවින් එම සතුන්ගේ වසුරුවල ද අදාළ හෝමෝන හා ප්‍රතිජීවක අධිසාන්ද්‍රණවලින් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව ඇය පවසයි.

එවිට අදාළ වසුරු පොහොර කුඹුරට එකතු කළ විට පෙර කී හෝමෝන හා ප්‍රතිජීවක ජලය මගින් වී පැලයට උරා ගන්නා අතර සහල් ආහාරයට ගැනීමේදී ඒවා නැවතත් මිනිස් සිරුරට ඇතුළු ඵවන්නේ යැයි ද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.