සෆාරි ජීප් රථයක් පෙරලෙයි.. අයෙක් මිය යයි…

0
Safari jeep overturns - සෆාරි ජීප් රථයක් පෙරලෙයි.. අයෙක් මිය යයි...
හබරණ – හුරුළු පාරිසරික උද්‍යානයේදී සෆාරි ජිප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකුට මරු කැදවමින් තවත් අට දෙනෙකුට තුවාල සිදු වූ අනතුර සම්බන්ධයෙන් සෆාරි ජිප් රථයේ රියදුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඊයේ (07) පස්වරුවේ හුරුළු‍ පාරිසරික උද්‍යානයේදී සෆාරි ජිප් රථයකට පහරදීමට වනඅලියෙකු පැමිණි අවස්ථාවේ ජීප් රථය පසුපසට ධාවනය කිරීමේදී එය පෙරළීමෙන් අනතුර සිදුව තිබුණා.

එහිදී පුද්ගලයෙකු මිය ගොස් ළමයින් 4 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර අනතුරින් තුවාල ලැබූවන් අතර, ජීප් රථයේ රියදුරු ද වනවා.

සෆාරි ජිප් රථයක ප්‍රවාහනය කළ හැක්කේ 6 දෙනෙකු පමණක් වන අතර, මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ එහි 11 දෙනෙකු ගමන් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව අදාළ ජිප් රථයේ නියමිත ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත රියදුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ.