කොවිඩ් එන්නත් තුනක බලය බිඳිලා

0
Channa Jayasumana Statement of Covid Vaccines - කොවිඩ් එන්නත් තුනක බලය බිඳිලා

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් යළි ඉහළ යද්දී ලොවම කැළඹීමට පත්වන කොවිඩ් එන්නත් ඵලදායීතාව සම්බන්ධයෙන් අමෙරිකානු පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වන ලෝක ප්‍රකට ‘සයන්ස්’ සඟරාව විශේෂ අනාවරණයක් කර තිබේ.

ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් ත්‍රිත්වයේ ඵලදායිතාව සොයාබැලීම සඳහා සහභාගීවී ඇති අමෙරිකානුවන් සංඛ්‍යාව ලක්ෂ 8කට ආසන්නය.

පසුගිය පෙබරවාරි සහ ඔක්තෝබර් දක්වා මාස 6ක කාලය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබාගත් ජනතාවගේ ශරිර අභ්‍යන්තරයේ වෛරසයට එරෙහි ආරක්ෂාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඒ අනුව මාර්තු මාසයේ මුල 86.9% ක් ලෙස පැවැති ෆයිසර් එන්නතේ ආරක්ෂාව මාස 6කට පසු පහත වැටී තිබුණේ, 43% දක්වාය.

එමෙන්ම 89%ක් ලෙස පැවැති මොඩර්නා එන්නතේ ආරක්ෂාව ද මාස 6කට පසු 58% ක් දක්වාත් අඩු වී තිබුණි.

එමෙන්ම 86.4% ක් ලෙස පැවැති ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ ආරක්ෂාව 13% ක් දක්වා පහත වැටී ඇති බවත් මේ පර්යේෂණය මගින් පෙන්වා දී තිබේ.

අදාළ පර්යේෂණ වාර්තාව අනාවරණ කරන්නේ, එන්නත් තුනේම වෛරසයට එරෙහි කාර්යක්ෂමතාව 89% සිට 13%ක් දක්වා පහත වැටී ඇති බවය.

මේ සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙලෙස අදහස් පළ කළේය.

“එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව අඩුවෙනවා කියන පණිවුඩය සුභදායී තත්ත්වයක් නෙමෙයි. විශේෂයෙන්ම ෆයිසර් සහ මොඩර්නා එන්නත් විශාල ප්‍රමාණයක් අපේ රටේ දුන්නා. මේ පර්යේෂකයින් යෝජනා කරන දේ තමයි බූස්ටර් එන්නතක් හෙවත් තුන්වන මාත්‍රාවක් ලබාදීම සහ මුහුණු ආවරණ පැලදීම, දුරස්ථභාවය තබා ගැනීම තමයි මේකට විසඳුම ලෙස ඔවුන් හඳුන්වා දෙන්නේ. පරෙස්සම් වෙන්න. මොකද ලෝකයේ තිබෙන ප්‍රවණතා ගැන අපි අවධානයෙන් ඉන්නේ. මේ දෙසැම්බරයේ එන පොට හොඳ නෑ කියලයි මේ පර්යේෂණ දත්තවලින් පෙන්නුම් කරන්නේ.”