කසළ ගොඩකින් මතුවූ කාන්තා මළසිරුරේ තොරතුරු රැසක් අනාවරණය වෙයි

0
Information of Sapugaskanda Death Body - කසළ ගොඩකින් මතුවූ කාන්තා මළසිරුරේ තොරතුරු රැසක් අනාවරණය වෙයි

සපුගස්කන්ද – මාබිම – තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබියදී ගමන් බෑගයකින් හමු වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි බවයි බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

එමෙන්ම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බව වාර්තා වනවා.

මිය ගොස් සිටි කාන්තාව පැළඳ සිටි රුපියල් ලක්ෂ 8ක පමණ රන් ආභරණද අතුරුදන් වී ඇති අතර මෙම කාන්තාව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට ඊයේ හඳුනා ගැනුණා.

ඒ, ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා විසින් දේහය රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව මොහොමඩ් ෂාෆි ෆාතිමා මුම්ටාස් නැමැති මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාව, පසුගිය 28 වැනිදා පස්වරුවේ සිය නිවසෙන් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සමඟ ත්‍රීරෝද රථයකින් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඇගේ ඥාති පුත්‍රයෙකු විසින් දැක ඇති අතර, තම බිරිඳ නිවසට නොපැමිණීම නිසා පසුගිය 01 වැනිදා බ්ලූමැන්ඩල් පොලිසියට අතුරුදන් වූ කාන්තාවගේ සැමියා විසින් පැමිණිල්ලක්ද සිදු කර තිබුණේ ත්‍රීරෝද රථයෙන් අවසන් වරට ඇය සමඟ ගිය කාන්තාවද පොලිසියට කැඳවාගෙන යමින්.

ඒ අනුව මියගිය කාන්තාව බ්ලූමැන්ඩල් – ඕර්ස් ලේන් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයෙන් බැස ගිය බව එහිදී ඇය ප්‍රකාශ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මියගිය කාන්තාව මුදල් පොලියට ලබාදීම සහ මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වන තැනැත්තියක බවයි.

මියගිය කාන්තාවගේ මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.