රටම කළඹමින් කසළ ගොඩකින් මතුවූ කාන්තා මළසිරුරේ අභිරහස

0
රටම කළඹමින්, කසළ ගොඩකින් මතුවූ කාන්තා මළසිරුරේ අභිරහස
සපුගස්කන්ද – තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසල ගොඩක තිබූ ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව දැනට කාන්තාවන් අතුරුදන් වී ඇති බවට පොලිස් ස්ථාන වෙත ලැබී ඇති පැමිණිලි සහ තොරතුරු ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය තුළ බියගම ප්‍රදේශයෙන් කාන්තාවක් අතුරුදන් වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ ඔස්සේද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ වනතෙක් බෑගයේ තිබී සොයාගත් එම කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත්තේ මෘත ශරීරය හඳුනාගත නොහැකි වන අන්දමින් නරක් වී තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන කාන්තාවකගේ සිරුරක් බෑගයක තිබී ඊයේ පස්වරුවේ පොලිසිය සොයාගනු ලැබුවේ ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් දුගඳක් හමන බවට කළ දැනුම් දීමකට අනුවයි.

සොයාගත් සිරුර අත් පා ගැට ගසා තිබූ බවටද පොලීසිය ප්‍රකාශ කළා.

බෑගය, කොළ පැහැති පැදුරකින් ඔතා එම ස්ථානයට ගෙනවිත් දමා ඇති අතර පොලීසිය දැනට සැක පළ කරන්නේ මීට දින කිහිපයකට පමණ ඉහතදී එය කසල ගොඩට දමා ඇති බවටයි.