ජනපති, රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමුවෙයි…

0
Meets state leaders - ජනපති, රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමුවෙයි...
ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටිනවා.

ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍ය අතර දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ බහරේන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සලමන් බීන් හමාඩ් අල්කලීෆා මහතා අතර ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණතාවන්ගෙන් යුත් ශ්‍රී ලාංකිකයන්ට බහරේන් රාජ්‍ය තුළ රැකියා අවස්ථා උදාකර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සිදු කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම, දෙරට අතර සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය පිළිබඳ ජනාධිපතිවරයා සහ නේපාල අග්‍රාමාත්‍ය ෂා බහදුර් දෙව්බා මහතා අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්ට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමා අතර හමුව ග්ලාස්ගොහි මර්චන්ට් මන්දිරයේ දී සිදු වූ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහාය වන බව පැට්ට්‍රිෂියා මහත්මිය එහිදී සඳහන් කර ඇති බවයි ජනධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

වේල්සයෙහි ඔටුන්න හිමි චාල්ස් කුමරු, යුක්රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙලෙන්ස්කි , ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නගෝසි ඔකොන්ජෝ මෙන්ම මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නියෝජිතයන් ද හමු වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක නව අවස්ථා උදා කර ගැනීම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබෙනවා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවන්ට එක්ව සිටියා.