විදුලි, තෙල්, වරාය වෘත්තිය සමිති අද විරෝධයේ

0
Electricity, oil and port unions Strike - විදුලි, තෙල්, වරාය වෘත්තිය සමිති අද විරෝධයේ
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40%ක කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එළඹ ඇති ගිවිසුම අහෝසි කරන ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සංවිධාන කරන විරෝධතාවට සහය දක්වමින් අද වරාය, ජල සම්පාදන සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති ද විරෝධතාවල නිරත වනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද දහවල් විරෝධතාවයේ නිරත වන්නේ කොළඹ පිහිටි විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදියි.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනෑන්ඩෝ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, දිවයිනේ කිසිදු ප්‍රදේශයක අද විදුලි බිඳ වැටීමක් සිදු වීමට ඉඩ නොදෙන බවයි.

මේ අතර, අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයේ නිරත වනවා.

ඒ හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදු විය හැකි බවයි ලංකා ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ.

මේ අතර, කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයෙන් මහජන පීඩාවක් ඇති වන බැවින් එය නවතා දමන ලෙස ආඥාවක් නිකුත් කරන්නැයි වැල්ලම්පිටිය පොලීසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ ප්‍රතික්ෂේප කළා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අපරාධ නඩු විධාන සංග්‍ර පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙන්ම පොලිස් බලතල පාවිච්චි කරමින් එහිදී කටයුතු කළ හැකි බවයි ඇය පැමිණිලි පාර්ශවයට කියා සිටියේ.

එමෙන්ම, ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු, ඉංජිනේරු උපාලි රත්නායක කියා සිටියේ විදුලි සේවක උද්ඝෝෂණය හමුවේ විදුලි විසන්ධි වීමක් සිදුව එය යථා තත්වයට පත් කිරීමට නොහැකි වුවහොත් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බවයි.

මීට සමගාමීව වරාය වෘත්තීය සමිති සංවිධානය කර ඇති විරෝධතාවය කොළඹ වරාය ඉදිරිපිට පිහිටි ඔරලෝසු කනුව අසලදී පැවැත්වෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කළා.