ඇමතිවරු 3ක් විරෝධය පා පාරට බසිති

0
Partner Parties Decision of Yugadanavi LNG Power Plant - ඇමතිවරු 3ක් විරෝධය පා පාරට බසිති
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් ඊයේ (29) සමුළුවක් පවත්වමින් ආණ්ඩුව දැඩි දෝෂදර්ශනයට ලක් කළහ.

ජනහිතවාදී හෙටක් උදෙසා ‘මහජන මන්ත්‍රණ සභාව’ නමින් පිටකෝට්ටේ සෝලීස් ශාලාටෙව්දී පැවැති මෙම සමුළුවට ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක නායකයෝ සහභාගි වූහ.

මෙම සමුළුවට ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරු පෙරමුණ ගැනීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, ටිරාන් අලස්, ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ඒ. එල්. එම් අතවුල්ලා, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග සහ ලංකා කොමියුනිට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥා වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්රු මෙම සමුළුවට සහභාගි වූහ.

පක්‍ෂ නායකයන් සමුළු ශාලාවේ ප්‍රධාන මේසයේ අසුන් ගෙන සිටි අතර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

ඕමාරේ කාස්සප අනුනාහිමි, කැලණි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරත්න හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, ලංකා කොමියුනිට් පක්‍ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩීයූ ගුණසේකර සහ සිවිල් සමාජ ක්‍රියාකාරික ආචාර්ය ගුණාදාස අමරසේකර යන මහත්වරු, විදුලිබල ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරාකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

එහිදී අමාත්‍යවරුන් වන විමල් වීරවිංශ සහ උදය ගම්පන්පිල යන මහත්වරු පැවසුවේ කැබිනට් ඇමති ධුර පිළිබඳව කිසිඳු තැකීමක් නොකර එම ඇමති තනතුරු අහිමිවුවද රටට අහිතකර ගිවිසුම අහෝසි කරන තෙක් සටන අත්නොහරින බවයි.

අමාත්‍ය විමල් වීරවංශ එහිදී පැවසුවේ යුගදනවි එල්.එන්.ජී. බලාගාරය සම්බන්ධ ගිවිසුම කැබිනට් මණ්ඩලයේ නියමිත ආකාරයට සාකච්ඡා නොකළ හොර රහසේ සම්මත කළ ගිවිසුමක් බවයි.