අන්තර් පළාත් සංචරණ සීමා 31 සිට ඉවතට.. එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි…

0
Travel Restriction Remove from Monday - අන්තර් පළාත් සංචරණ සීමා 31 සිට ඉවතට.. එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි...
දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළා.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බව සඳහන්.

ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැණුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ.

විශ්ව විද්‍යාල පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකශ කළේ.

පොදු ස්ථාන ,මහජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය වනවා.

මෙරට පැවැත්වෙන LPL තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව සළසා දෙන ලෙස දෙස්, විදෙස් තරග සංවිධායකවරුන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති අතර, එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම , කොරෝනා හමුවේ අභියෝගයට ලක්වූ ආර්ථිකය යලි පණ ගැන්වීමේ ප්‍රමුඛ අංශය ලෙස සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙනවා.

ඊට අදාළ නව තීරණ රැසකට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පෙන්වා දී තිබෙනවා. සෞඛ්‍ය විශේෂඥ උපදෙස් වලට යටත්ව සංචාරක කර්මාන්තය ඉහළට ගැනීමට වඩාත් උනන්දුවෙන් සියලු දෙනා සහයෝගය දිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.