ඉන්ධන ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව ලංකාවේ කිහිප වරක් අසාදු ලේඛනයේ සිටි සමාගමකට

0
Sunil Hadunneththi Statement of Fule Contract - ඉන්ධන ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව ලංකාවේ කිහිප වරක් අසාදු ලේඛනයේ සිටි සමාගමකට
ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරීම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති සිංගප්පූරුවේ Vitol Asia Pte Ltd සමාගම ශ්‍රී ලංකාව තුළ කිහිප වරක් අසාදු ලේඛනයට ඇතුළත් කරන ලද සමාගමක් බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කරයි.

වැඩිදුර අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, පෞද්ගලික ලාභ වෙනුවෙන් වත්මන් රජය තීන්දු තීරණ ගන්නා බවය.

“නිකම් දෙනවා නම් ඕනේ එකක්. ණයට දෙනවා නම් ඕනේ එකක්. වෙනස තියෙන්නේ ඔය ණය ගන්නකොට දෙන කොමිස් එක මොකක්ද කියලා බලන්න ඕනේ. ඇත්තටම ඔය යන්නේ දැන් බිස්නස්. තෙල් අවශ්‍යතාව නෙමෙයි. වළකට වැටුණට පස්සේ මොළේට හොඳ වුණාට වළකට වැටුණාම මේ ගොල්ලොන්ගේ සාක්කුවට හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ වළකට වැටෙන එක මොළේට හොඳයි කියලානේ. වැටුණේ මොකද කියලා තේරුම් ගන්න. රට වළකට වැටුණාම ඒගොල්ලන්ගේ සාක්කු පුරවා ගන්නවා. බ්ලැක්ලිස්ට් වෙච්ච කොම්පැනි. දැන් කවුද කියලා දන්නේ නෑ. කොහොමද එන්නේ දන්නේ නෑ. ඒගොල්ලෝ විතරයි අරන් තියෙන්නේ කියලා දන්නවා. මීට කලින් අර ගත්ත වෙලාවේ වෙච්ච දේවල් මතක නැහැ,” සුනිල් හඳුන්නෙත්ති මහතා
සඳහන් කළේ ය.

අසාදු ලේඛනයෙන් ඉවත් කර ගැනීමට සමාගම දුන්නු මුදල

පළමු වරට මෙම සමාගම 2009 වසරේදී අසාදු ලේඛනයට ඇතුළත් කර තිබුණු අතර පසුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2011 වසරේ ජූලි මස 27 වන දා අමෙරිකානු ඩොලර් 150000ක මුදලක් ලබා දී ඇති අතර පසුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් එම සමාගම යළිත් ලේඛනගත කර තිබුණු බව 2012 වසරේදී සිදුවූ බාල ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් සකස් කළ විගණන වාර්තාවේ සඳහන් වේ.

2011 වසරේ බාල ඉන්ධන යෙදීමෙන් රථවාහන රැසක් කාර්මික දෝෂවලට ලක්වීමෙන් පසුව යළිත් එම වසරේ අගෝස්තු මාසයේදී Vitol Asia Pte Ltd සමාගම, එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ උපදෙස් මත අසාදු ලේඛනයට ඇතුළත් කළ බව fuelsandlubes.com වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එහිදී, බාල ඩීසල් යෙදීම නිසා දුම්රිය එංජින් 36ක්, වරායේ දොඹකර 18 ක්, පෞද්ගලික බස් රථ 150ක්, ලංගම බස් රථ 50ක්, තැපෑලේ වාහන 26ක් ක‍්‍රියා විරහිත වී ඇති බවට මෙරට මාධ්‍යවල පළවී තිබේ.

වර්ෂ 2011 ජූනි මාසයේදී බාල පෙට‍්‍රල් නිසා වාහන මග නතරවීමක් සිදුවූ අතර එම වාහනවලට අලාභ ගෙවීම ද සිදු විය. ගෙවූ වන්දි මුදල් ප‍්‍රමාණය රුපියල් දෙකෝටි විසිලක්‍ෂයක් බව සඳහන්වේ. එම බාල පෙට‍්‍රල් ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි 49ක් බව ඛනිජ තෙල් සංවර්ධන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පත් කරන ලද නිරීක්‍ෂණ කමිටු වාර්තා කර තිබූ බව සඳහන් විය.

මේ අතර, Vitol Asia Pte Ltd සමාගම යුරෝපයේ සහ ලතින් අමෙරිකානු රටවල් කිහිපයක ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා අල්ලස් දීමට උත්සහ කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

බලශක්ති ඇමතිගේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් අපි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් විමසීමක් කළෙමු.

ඔහු ප්‍රකාශ කළේ, 2009 වසරේදී පමණක් මෙම සමාගම අසාදු ලේඛනයට ඇතුළත් කර තිබූ බවත් පසුව යළි ලැයිස්තුගත කළ බවත් ය.

මෙවර ඉන්ධන සැපයීම සඳහා ඉල්ලුම් කර තිබුණේ, සිංගප්පූරුවේ Vitol Asia Pte Ltd සමාගම පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරීම සඳහා සිංගප්පූරුවේ Vitol Asia Pte Ltd සමාගමට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බව අද (ඔක්. 26) කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව එළඹෙන 2022 වසරේ ජනවාරි මස 1 වනදා සිට අගෝස්තු මස 31 වනදා දක්වා වන මාස 8ක කාලය සඳහා ප්‍රදානය කිරීමට නියමිතය.

ඒ අනුව, උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05 බැරල් 1,137,500ක් සහ බැරල් ඩීසල් උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.001 බැරල් 262,500ක් ආනයනය කිරීම සඳහා අදාළ අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම, අදාළ මාස 8ක කාල සීමා තුළ පෙට්‍රල් ආනයනය සඳහාද පෙට්‍රල් 92 බැරල් 1,341,00 ක් සහ පෙට්‍රල් 95 බැරල් 459,000ක් අදාළ සමාගමෙන් ආනයනය කිරීමටද අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කර ඇති යෝජනා අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.