මහනුවර කොවිඩ් රෝගීන් 35 ක් මරු සමග සටනක. ඔක්සිජන් ඇතත් දෙන්න පහසුකම් නැ

0
මහනුවර කොවිඩ් රෝගීන්
Close up of female hands holding medical respiratory equipment. Man lying on hospital bed and doctor arm on blurred background

ඔක්සිජන් ඇතත් රෝගීන්ට ඔක්සිජන් ලබා දීමේ පහසුකම් නොමැති වීම නිසා නුවර දිස්ත්‍රික්කයේ මහනුවර හා තෙල්දෙණිය  කොවිඩ් රෝහල් බරපතල අර්බුදයකට පත්වෙමින් මහනුවර කොවිඩ් රෝගීන් 35 ක් මරු සමග සටනක බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

   මේ වනවිට ප්‍රධානම කොවිඩ් ප්‍රතිකාර රෝහල්වන මහනුවර හා තෙල් දෙණියේ පමණක් ඔක්සිජන් සැපයුම අත්‍යවශ්‍ය නමුත් එසේ ලබාදීමට පහසුකම් නැති නිසා මරණය සමග පොරබදන රෝගීන් 35ක් පමණ සිටින බව එම ආරංචි මාර්ග කියයි.  

   තෙල්දෙණිය හා මහනුවර රෝහල් දෙකෙහි කොවිඩ් දැඩිසත්කාර ඒකක පිරී ගොස් ඇතැයි ද තෙල්දෙණියේ අලුතින් ආරම්භ කළ දැඩි සත්කාර ඒකක ඇඳන් 04 සහ නුවර රෝහලේ කොවිඩ් දැඩිසත්කාර ඒකක ඇඳන් 06 බරපතල රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති බව වාර්තා වේ. 

   මේ වනවිට මහනුවර රෝහලේ අංක 26 කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ගන්නා රෝගීන් 20 දෙනාට අමතරව කායික වෛද්‍ය වාට්ටුවල කොවිඩ් රෝගීන් 50 දෙනෙක් හමු වී තිබේ.  මේ පිරිස අතර බරපතල ඔක්සිජන් අවශ්‍යතා සහිත රෝගීන් 15ක් සිටින බව සෞඛ්‍ය අංශ කියයි. 

   කොවිඩ් වැළඳී අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් රැගෙන යන තෙල්දෙණිය රෝහලේ රෝගීන් 120න් තුනෙන් එකකටම ඔක්සිජන් අවශ්‍යතාවය පැන නැගී ඇතැයි එම ආරංචි මාර්ග කියයි. 

   ඉන් බරපතලම තත්වයේ රෝගීන් 20ක් සිටින බවත් ඔක්සිජන් ඇති නමුත් එම ඔක්සිජන් ලබා දීමට පහසුකම් සලසා නැති වීම නිසා රෝගීන් 03ක් ඊයේ තෙල්දෙණිය රෝහලේ දී  මිය බවත් එම ආරංචි පෙන්වා දෙයි. මිය ගිය අයගේ  සිරුරු කොවිඩ් නිරෝධායන ක්‍රමවේද යටතේ ආදාහනය කිරීමට නියමිතය. 

   පේරාදෙණය රෝහලේ දැනට කොවිඩ් ආසාදිත රෝගීන් 88ක් සිටින බවත්  රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් හයම අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට වෙන් වී ඇති බවත් ඔවුන් තහවුරු කරයි. පේරාදෙණිය රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකය බවට පත්කරන ලද්සේ සාමාන්‍ය රෝගීන් සඳහා භාවිත කළ දැඩි සත්කාර ඒකකයය. 

   මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බව පුරෝකථනය කරමින් කොවිඩ් රෝහල් සඳහා ඔක්සිජන් සැපයීමේ පහසුකම් සහිත ඒකක  සපයා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට ලිඛිතව කරුණු දැක්වූයේ මීට මාස 06කට කලින් බව ඉහත ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

   කෙසේ වෙතත් මේ වනවිට වාට්ටු අංක 17, 18, 12 ඇතුළත් පේරාදෙණිය රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකය ඔක්සිජන් සැපයුම් ලබා දීමේ පහසුකම් වැඩි දියුණු කරගනිමින්  ප්‍රතිකාර කිරීම අරඹා තිබේ 

   ඊයේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත රෝගීන් 337ක් වාර්තා විය. ඉන් 37ක් මහනුවර නගර සීමාව තුළය. මේ වනවිට තෙල්දෙණිය රෝහලේ රෝගීන් 120ක්, මහනුවර රෝහලේරෝගීන් 70ක්,   කටුගස්තොට  රෝහලේ ගැබිණි මවුවරුන් 10ක් ඇතුළුව රෝගීන් 30ක්,  පේරාදෙණිය රෝහලේ රෝගීන් 88ක්, කඩුගන්නාව රෝහලේ 06ක්,   වත්තේගම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 35ක්,  අකුරණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 40ක්  නාවලපිටිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 10ක්, කොවිඩ් ආසාදිත බව තහවුරු වුවත් රෝග ලක්ෂණ නොපෙන්වන රොගීන් රඳවා ඇති ගම්පොල අතරමැදි  ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන්  150ක්,  පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 300ක්,   පල්ලෙකලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 140ක්.   පැණිදෙනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 350ක්, ගිරාගම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 26ක් ප්‍රතිකාර ගනිමින් සිටී.

( https://www.21mediavision.com/ වෙබ් අඩවියෙනි )