සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියකදී එන්නත්

0
School Students Vaccinations - සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියකදී එන්නත්

දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව ඊයේ (22) තීරණය කළේය.

මේ අතර උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළතදී එන්නත ලබාදී අවසන් කිරීමටද මෙහිදී තීරණය කෙරිණ.

එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල දැඩි කැපවීම හේතුවෙන් ඉතා ඉක්මනින්ම කොවිඩ් වසංගතය පැතිර යෑම පාලනය කිරීමට හැකි වූ බවත් දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීම සහ රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳව අවධානය යොමුකර ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගැනීම වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ආවරණ පැළඳීම අත් සේදීම , දුරස්ථභාවය තබාගැනීම යන සෞඛ්‍ය නිර්දේශ පිළිපැදීමට ජනතාව අඛණ්ඩවම දැනුම්වත් කළ යුතු බවත් ප්‍රතිසංස්කරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැත්විණ.